අලුත් අවුරුද්ද නිමිති කර ගනිමින් අනුරාධපුර කොට්ඨාස පොලිස් අධිකාරී කාර්යාලය සියලු කාර්යාලය සියලු කාර්යය මණ්ඩලය සහ එම කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරවරුන්, ස්ථානාධිපතිවරුන් අනුරාධපුර නගරයේ පිහිටි සුපිරි හෝටලයකට කැඳවා පසුගියදා දවල් මත්පැන් සාදයක් පවත්වා ඇතැයි වාර්තා වේ.
ඉහළ පොලිස් නිලධාරියකුගේ උපදෙස් මත මෙම සාදය  පවත්වා ඇතී බවත් මත්පැන් සාදය අතරදී එම ඉහළ පොලිස් නිලධාරියා සාදය රසවත් කිරීමේ අරමුණින් ගීත කිහිපයද ගායනා කර ඇති බවත් පොලිස් ආරංචි
මාර්ගයන් සඳහන් කරයි. කාර්යාල දිනක මෙලෙස සියලු නිලධාරීන් කඳවා සාද පැවැත්වීම

හේතු කොටගෙන අනුරාධපුර කොට්ඨාස පොලිස් අධිකාරී කාර්යාලයට සිය අවශ්‍යතාවන් සඳහා පැමිණි මහජනතාවද දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වේ.

එසේම මෙම සාදයට වැය වන මුදල් පියවීම සදහා අනුරාධපුර කොට්ඨාස පොලිස් අධිකාරී කාර්යාලයේ රාජකාරී කටයුතු සිදුකරන පොලිස් නිලධාරියකුගෙන් රුපියල් 600 බැගින් එකතු කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

දිවා කාලයේ මෙලෙස මත්පැන් සාද සංවිධාන කිරීම් සහ ඉහළ පොලිස් නිලධාරීන්ගේ දැනුම්දීම මත ඊට සහභාගි වූ සහකාර පොලිස් අධිකාරීවරුන්, පොලිස් ස්ථානාධිපතිවරුන් සහ වෙනත් අංශවල ස්ථානාධිපතිවරුන්ද අපහසුතාවට පත්ව ඇතැයිද එම ආරංචි මාර්ගයන් වැඩිදුරටත් කියා සිටී.

ඒ සමිබන්ධයෙන් කළ විමසුමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අනුරාධපුර කොට්ඨාස පොලීස් අධිකාරී කාර්යාලයේ සේවයේ නියුතු සිවිල් නිලධාරිනියකගේ දැරීයකගේ උත්සවය නිමිත්තෙන් මෙම සාදය පැවැති බවයි.

නමුත් මෙම සාදය පැවැත්වීම සඳහා කිසිදු පොලිස් නිලධාරීයකුගෙන් කිසිදු මුදලක් එකතු කර නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.