පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින්  හිදෝගම පොලිස් වසමේදී රුපියල්  ලක්ෂ පනහකට අධික වටිනාකමින් යුතු හයිබ්‍රිඩ් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් පැහැරගත් කණ්ඩායමකට සහය ලබාදෙමින් රථය පදවාගෙන ගිය පුද්ගලයෙකු තඹුත්තේගම මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සදහා හිදෝගම පොලිස්ථානයට පෙරේදා (31) භාරදී තිබුණි.

 රත්නපුර කුරුවිට ප්‍රදේශයේ පදිංචි රථවාහන අලෙවියේ නියුතු ව්‍යාපාරීකයෙකු සතුවු සුඛෝපභෝගී රථය හිදෝගම නාච්චාදූව නගර ආසන්නයේදී පුද්ගලයන් පිසක් පැහැරගත් බවට ලැබුණු  පැමිණිල්ලකට අනුව හිදෝගම පොලිසිය වහාම ඒ පිළිබඳව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොලිස්ථාන සියල්ලට දැනුම්දී තිබුණි.

එම දැනුම්දීමට අනුව තඹුත්තේගම පොලිසිය ඒ 28 මාර්ගයේ හදිසි මාර්ග බාධකයක් යොදා සැකකරු සමග රථය අත්අඩංගුවට ගෙන තිබුණි.

පැමිණිලිකාර ව්‍යාපාරිකයා රථවාහන මිලදී ගන්නා බවට පුවත්පතක පලකළ දැක්වීමට අනුව අත්අඩංගුවට ගැනීම සදහා සොයන සැකකරුවන් සුඛෝපභෝගී මෝටර් රථයක් විකිණීමට තිබෙන බව පවසමින්ගේ ව්‍යාපාරිකයාට ඇමතුමක් ලබාදී අනුරාධපුර හිදෝගම නාච්චාදූවට පැමිණෙන ලෙස දක්වා තිබෙන බව පොලිසිය පැවසුවේය.

ඒ අනුව පැමිණිලිකරු මෝටර් රථයට අත්තිකාරම් දීම සදහා රුපියල් 65000 ක මුදලකුත් රැගෙන නාච්චාදූවට පැමිණ ඇතිබව පොලීසිය පැවසුවේය. සිද්ධියට සම්බන්ධවී සිටින සැකකරුවන් සිවුදෙනකු නාච්චාදූව ජලාශය ආසන්නයේ පිහිටි උද්‍යානයට ව්‍යාපාරිකයා පැමිණ සිටින අයුරු නිරීක්ෂණය කර දුරකථන  ඇමතුමක් ලබාදී ඔහුට ඉන්පිටතට පැමිණෙන ලෙස දැන්වා තිබෙන බවත් ව්‍යාපාරිකයා උද්‍යානයෙන් පිටතට එද්දී සැකකරුවන් රථය නවතා ගිහි  පෙට්ටියක් ඇත්දැයි විමසා දෙදෙනකු බලහත්කාරයෙන් රථයට නැග තිබෙන බවත් පොලිසිය පැවසුවේය.

පසුව සැකකරුවන් පොලිස් නිලධාරීන් බවත් රථයේ අංක තහඩුව ව්‍යාජ එකක් බවත් පවසා හාදෝගම පොලිස්ථානයට යායුතු බව පවසමින් රථ හිදෝගම පොලිස්ථානය දෙසට ධාවනය කර නාච්චාදූව නගරය ආසන්නයේදී  ව්‍යාපාරිකයාට රථයෙන් බැස පිටුපසින් පැමිණ පොලිස් ජීප් රථයට නගින ලෙස දන්වා ඔහු බැසගත් පසුව මෝටර් රථය රැගෙන සැකකරුවන් පළාගොස් තිබෙන බව හිදෝගම පොලිසිය පැවසුවේය.

සැකකරුවන් කිසියම් ස්ථානයකට රථය රැගෙන ගොස් අත්අඩංගුවට පත්වූ පුද්ගලයාට භාරදී එය කොළඹට රැගෙන යන ලෙස දැනුම්දී තිබෙන බවත් කුරුණෑගල දෙසට රථය පදවාගන යද්දි සැකකරු පාඹුල්ගම පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට පත්වී ඇති බවත් හිදෝගම පොලිසිය පැවසුවේය. අත්අඩංගුවට ගත් දෙහිඅත්තකණ්ඩියේ පදිංචි සැකකරු අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරීපත් කිරීමෙන් අනතුරුව මේ මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකරන සියලුම සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාචරයා හිදෝගම පොලිසියට නියෝග කළේය.