වෙසක් උත්සවය නිමිති කරගෙන වෙළඳපළට එන අටපිරිකර සහ ඒ නිමිත්තෙන් පවත්වන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. ඒ අනුව දන්සල් කටයුතු අනිද්දා (20) සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සංගමය පවසයි.

 ඊට අදාළ තොරතුරු දිවයින පුරා පිහිටි සෞඛ්‍ය පරීක්‍ෂක කොට්ඨාස තුළින් ලබා ගත හැකි බව එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවැසීය. එමෙන්ම සිසිල් බීම දන්සල්, පවත්වන්නේ නම් දෙහි, දොඩම් වැනි ස්වභාවික පලතුරු යොදාගත යුතු අතර වර්ණ ගන්වන ලද හා රස කාරක

යෙදූ ආහාරපාන ලබා දීමට අවසර නොදෙන බවද ඒ මහතා කීය.

මේ අතර අටපිරිකරයේදි අන්තර්ගත භාණ්ඩ නිෂ්පාදකයන් හා වෙළෙඳුන් සිය ආයතනය හා වෙළෙඳසල් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම අනිවාර්ය බවට පාරිභෝගික අධිකාරිය නීතියක් පනවා ඇත. එමෙන්ම එම භාණ්ඩ විකිණීමේදී අදාළ භාණ්ඩයේ හෝ ඇසුරුමෙහි උපරිම සිල්ලර මිල, නිෂ්පාදකයන් හෝ ආනයනකරුගේ ලිපිනය, දුරකථන අංකය හා නිෂ්පාදිත දිනය ආදී තොරතුරු සඳහන් කළ යුතු බවටත් අධිකාරිය නීති පනවා තිබේ.

ප්‍රමිතියෙන් තොර අටපිරිකර හා බෞද්ධ කොඩි අලෙවි කරන පුද්ගලයන් සම්බන්ධයෙන් වෙළෙඳපල විමර්ශන හා වැටලීම් ද ආරම්භ කර ඇතැයිද පාරිභෝගික අධිකාරිය පවසයි. එවැනි වැරදි කරන පුද්ගලයන්ගේ තොරතුරු වෙතොත් 1977 ක්‍ෂණික දුරකථන අංකයට හෝ 011-7155481 - 3 යන දුරකථන අංකවලට දැනුම් දිය හැකි බවද එම අධිකාරිය පවසයි.