කරාපිටිය රෝහලේ රෝගියෙකුට ශල්‍යකර්මයක් කරමින් සිටි වෛද්‍යවරයෙකුගේ පාදය මතට ශල්‍යාගාර මේසය කඩාවැටීමෙන් එම වෛද්‍යවරයාටද පැය එකහමාරක පමණ සැත්කමක් කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කරාපිටිය රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රජිත් අබේවික්‍රම මහතාය. ඔහු කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ කාර්ය බාර වෛද්‍යවරයා ලෙස ශල්‍යාගාරයේ ශල්‍යකර්මයක්
කරමින් සිටින අතරතුර ශල්‍යාගාරයේ මේසය මෙලෙස ඔහුගේ පාදය මතට කඩා වැටී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ සැත්කමට භාජනය වෙමින් සිටි රෝගියා නිරුපද්‍රිතව සිටින අතර මෙම අවස්ථාවේ සැත්කම අවසන් වෙමින් පැවතුන බැවින් රෝගියා සම්බන්ධ කටයුතු ශල්‍යාගාරයේ සිටි අනෙක් වෛද්‍යවරුන් විසින් අවසන් කළ බවද රෝහල් ආරංචිමාර්ග පවසයි.

රෝහලේ වෛද්‍යවරුන් පවසන්නේ අනතුරින් වෛද්‍යවරයාගේ පාදයට සිදුවූ තුවාලයට පැය එක හමාරක පමණ ප්ලාස්ටික් ශල්‍යකර්මයක් කිරීමට සිදුවූ බවයි.

අදාල වෛද්‍යවරයා දැනට සුවය ලබමින් සිටින අතර ශල්‍යාගාරයක් තුළ සිදුවන මෙවැනි අනතුරු වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ ඉතාමත් විරල බව වෛද්‍යවරු පවසති.

මේ සම්බන්දව අදහස් දක්වමින් විශේෂඥ ශල්‍ය වෛද්‍ය රජිත් අබේවික්‍රම මහතා මෙසේ පවසයි,

" කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ශල්‍යාගාර හතරක් තිබෙනවා. ඉන් එක් ශල්‍යාගාරයක මම උදරයේ පිළිකාවක් ඇතිවූ රෝගියෙකු සඳහා සැත්කමක් කරමින් සිටියා. මා සමඟ තවත් වෛද්‍යවරු තිදෙනෙක් හෙදියන් සහ සුළු සේවකයින් ශල්‍යාගාරය තුළ සිටියා.

සැත්කම අවසන් වෙමින් පවතින අවස්ථාවේ හදිසියේම රෝගියා සහිත ශල්‍යාගාර මේසය බිමට පහත් වුණා. මේ ශල්‍යාගාර මේසය ටොන් එකක් පමණ බරයි.

මෙයින් මගේ කකුලේ ඇඟිල්ලකට බරපතල ලෙස හානි සිදු වුණා. රෝගියාට කරදරයක් වුණේ නැහැ.ශල්‍යාගාරයක් කියන්නේ ගුවන් යානයක නියමු කුටිය

වගේ තැනක්, එහි ආරක්ෂාව අතිශය වැදගත්"

වෛද්‍යවරුන් පවසන්නේ සැත්කම් සිදුකරන ශල්‍යාගාරයක ආරක්ෂාව ලෝකයේම පිළිගත් මට්ටමක පැවතිය යුතු බවයි. ප්‍රධාන වශයෙන්ම රෝගියාගේ ආරක්ෂාව හා ශල්‍යාගාර කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව ශල්‍යාගාරයක් තුළ දී සහතික විය යුතු බවද නිරන්තර පරික්ෂාව හා නඩත්තුව අවශ්‍ය බවද ඔවුන් පවසයි.

එසේම අවිධිමත් ක්‍රම යටතේ බඳවා ගන්නා සුළු සේවකයන් නිසි පුහුණුවක් නොමැතිව ශල්‍යාගාර වල සේවයේ යෙදවීම නිසා ද බෝහෝ ප්‍රශ්න උද්ගත වන බව ඔවුහු තවදුරටත් පවසති.

මේ සම්බන්ධව අදහස් දක්වමන් කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා මෙසේ පවසයි,

"මේක සුළු සිද්ධියක්, ඇඳේ කෑල්ලක් වෛද්‍යවරයාගේ කකුල මතට කඩාවැටිලා  පොඩි තුවාලයක් ඇතිවී තිබෙනවා."

(සිරංගිකා ලොකුකරවිට , ජී.ඩබ්.කේ.ප්‍රේමතිලක සහ ජේ.කේ.එල් චාමින්ද)