වසර දහඅටක්‌ පුරා සිදුවූ  ක්‍රියාවලිය උඩු යටිකුරු කරමින් වහා ක්‍රියාත්මක වන පරිදි යළි චිත්‍රපට බෙදා හැරීම ජාතික චිත්‍රපට සංස්‌ථාව වෙත පවරාගෙන ඇත. ඒ විෂය භාර ඇමැති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ මතය.

මේ පිළිබඳව පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රවීන රංගන ශිල්පීන් ශිල්පිනියන් හ හා ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් දැක්වූ අදහස්‌ මතු දැක්‌වේ.

 රවීන්ද්‍ර රන්දෙණිය මහතා

 හැත්තෑ එකේ චිත්‍රපට සංස්‌ථා පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීම තමයි 1947 සිට මේ දක්‌වා අපේ සිනමාවේ සුවිශේෂී සිදුවීම. සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය මේ තීරණය ගත්තේ සමස්‌ත සිනමාකරුවන්ගේ ඉල්ලීම මතයි.

 එදා මැතිනිය ගත් තීන්දුවට පසුව දේශීය සිනමාව වෙනුවෙන් ගත් ඉහළම තීන්දුව තමයි පසුගියදා විජයදාස රාජපක්‍ෂ ඇමැතිතුමා ගත්තේ. මේ තීන්දුව මීට වසර ගණනාවකට පෙර ගත්තා නම් අපේ සිනමාව මෙතරම් ප්‍රපාතයකට වැටෙන්නේ නෑ. 1971 දී නිහාල්සිංහ මහතා සංස්‌ථා මණ්‌ඩල හරහා බෙදා හැරීමේ ක්‍රමයක්‌ විධිමත් ලෙස කරගෙන ගියා. එදා ස්‌වර්ණමය යුගය බිහිවුණේ. නමුත් හැත්තෑ හතේදී මෙය පෞද්ගලිකරණය කළා. අප බැගෑපත් වුණා එහෙම කරන්න එපා කියලා. පෞද්ගලිකරණය සාර්ථක නම් සිනමා ශාලා අද මෙතරම් අඩු වුණේ කොහොමද. එදා අවුරුද්දකට මිලියන 200 ක්‌ චිත්‍රපට කර්මාන්තය විසින් රජයට ලබා දුන්නා. ඒත් අද සංස්‌ථාව භාණ්‌ඩාගාරයෙන් යැපෙන තත්වයට පත්වුණා. පනත අනුව චිත්‍රපට බෙදා හැරීමේ පූර්ණ වගකීම සංස්‌ථාව සතුයි. එය පුද්ගලික අංශයට දුන්නේ නීත්‍යානුකූලව නොවේ. අවුරුදු දහඅටක්‌ සංස්‌ථාවට හිමිවිය යුතු මුදල් පෞද්ගලික සමාගම් කිහිපයක්‌ විසින් උපයා ගත්තා. සිනමාව ඇදවැටුණා. එදත් අදත් මේ ගැන මා කතා කළා. මම දේශපාලනය අත හැරියේත් මේ නිසා. අපේ හඬ යටපත් කරමින් බලවේග කිහිපයක්‌ ක්‍රියාත්මක වුණා.
 රටේම සිනමා කර්මාන්තය උදෙසා ඓතිහාසික තීන්දුවක්‌ ගත් මොහොතක්‌ මේ. අවුරුදු දහඅටක සටනක ජයග්‍රහණය අහිමි නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා.


 බෙනට්‌ රත්නායක මහතා-

 පුද්ගලයන් තුන් හතර දෙනෙකුගේ උවමනාව මත පසුගිය අවුරුදු දහඅටම චිත්‍රපට පෙන්නුවා. ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක්‌ සිනමාව පාලනය කළා. ඔවුන් කලාත්මක චිත්‍රපට පස්‌සට දාලා තමන් කැමැති වාණිජ චිත්‍රපට පෙන්වීමේ පහත් ක්‍රමයක්‌ අනුගමනය කළා. වෙනම නියාමන ඒකකයක්‌ යටතේ චිත්‍රපට බෙදා හැරීමේ ක්‍රමවේදයක්‌ චිත්‍රපට සංස්‌ථාව යටතේ ස්‌ථාපිත කළ යුතුයි. ප්‍රමිතිකරණයක්‌ යටතේ චිත්‍රපට බෙදාහැරිය යුතුයි. අපිට ලාංකීය සිනමාව නිවැරදි මාවතක ගෙන ගොස්‌ සිනමාවේ ස්‌වර්ණමය යුගය යළිත් බිහි කරන්නට හැකිවේවි.

 මාලිනී ෆොන්සේකා මහත්මිය-

 අද ඓතිහාසික දවසක්‌. මට මේ කර්මාන්තය කොතරම් එපා වුණාද කියනවා නම් චිත්‍රපට සංස්‌ථා භූමියට පසුගිය කාලේ එන්නේ නැතුව හිටියේ. මේ තීරණය අපි කලක සිට බලාපොරොත්තු වුණා. මට අද හරිම සතුටු දවසක්‌. මෙවැනි දවසක්‌ අපට උදාකර දීම ගැන විජයදාස රාජපක්‍ෂ ඇමැතිතුමාට තුති පුදනවා. අපට සතුටින් ඉදිරියේදී දැස්‌ පියා ගන්න පුළුවන් වේවි. අප කළ සටනක ප්‍රතිඵල ලැබුණා. දැන් අපි එකිනෙකා විරුද්ධ නොවී එක ගමනක්‌ යා යුතුයි.



රොහාන් වැලිවිට මහතා-

 මම පසුගිය අවුරුදු නවය ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙක්‌ වී සිටියා. නමුත් මෙවැනි කාර්යයක්‌ අපට කරන්න බැරිවුණා. පිකටිං නොකර, පෙළපාලි නොගොස්‌, සටන් පුවරු ඔසවන්නේ නැතිව අද අපි මේ ජයග්‍රහණය ලැබුවා. මිලියන එක්‌දහස්‌ හත්සිය ගණනක්‌ පසුගිය වසර දහඅටේදී රජයට අහිමි වුණා. මේ බෙදාහැරීම පෞද්ගලික අංශයට ලබාදීම නිසා. එනිසා දිනෙන් දින අපේ සිනමාව පහළට ගියා.

සෝමරත්න දිසානායක මහතා-

 අපි අවුරුදු ගණනාවක්‌ තිස්‌සේ ජනාධිපතිවරු, අගමැතිවරු පස්‌සේ ගියා. කලකිරුණා. චිත්‍රපට සෑදීමෙන් ඉවත් වුණා. අදින් පසු අපි යළි චිත්‍රපට හදනවා. අපි සියලු දෙනා අලුත් ජීවයක්‌ ලැබුවා. ජනාධිපතිතුමා මේ තත්ත්වය තේරුම් ගැනීම අපේ වාසනාවක්‌. පුද්ගලික සමාගමක්‌ පවත්වාගෙන ගිය සිනමා ඒකාධිකාරය බිඳ දැමුවා. අප කොතරම් හොඳ චිත්‍රපට හැදුවත් මේ පුද්ගලික බල අධිකාරිය අපේ චිත්‍රපට පහත දමලා විදේශීය චිත්‍රපට ප්‍රවර්ධනය කළා. තව ටික කලක්‌ ගියා නම් දේශීය සිනමාවක්‌ නැති වෙනවා. චිත්‍රපට සංස්‌ථාව මේ ඒකාධිකාරයේ බලයට යටවුණා. දැන් එසේ විය යුතු නෑ.

රේණුකා බාලසූරිය මහත්මිය-

 අපේ සරිගම චිත්‍රපටය සම්පූර්ණ මුදල දීලා භාර ගන්න බෙදාහැරීමේ සමාගමක්‌ ඉදිරිපත් වුණා. ඒත් අපි කුඩා සිනමා ශාලා වෙත "සරිගම" ලබා දුන්නා. ඒ ශාලා ඩිජිටල්කරණය කිරීමේ පොරොන්දුව මත. සිනමා ශාලා හිමියන් ඊට එකඟ වුණා. ඒත් එදා හිටපු සංස්‌ථා සභාපතිවරයා කළේ මේ චිත්‍රපටය දුවන්න බැරි විදියට යම් යම් තීරණ ගැනීමයි. අතීතයේ වැරදි හදාගෙන අලුත් විදිහට යමු. අපට අද දක්‌වා අලුත් චිත්‍රපටයක්‌ හදන්න බැරි වුණේ ඒ අපේ චිත්‍රපටයට කළ අසාධාරණය නිසා. අපව එදා පරාජය කළා. ඒ අප සිනමාව වෙනුවෙන් ගත් සුබවාදී තීරණය නිසා.