මාතර රොටුඹ දෙන්කන්දලිය ශ්‍රී බෝධිරාජාරාමයේ චෛත්‍ය කඩා ගර්භයේ තැන්පත් කර තිබූ රන් නෙලුම් මලක්, මැණික් ගල් ඇතුළු වටිනා නිදන් වස්තු සොරාගත් බවට සැක කරන හිමිනම පෙරේදා (24) අලුයම
ඇඹිලිපිටිය, තුන්කම වර ගම්මානයේ නිවෙසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව රොටුඹ පොලිසිය පවසයි.

මෙසේ ඩංගුවට ගෙන ඇත්තේ 52 හැවිරිදි රොටුඹ දෙන්කන්දලිය ශ්‍රී බෝධිරාජාරාමයේ විහාරාධිපති හිමිනමය. පසුගිය ජුනි 5 දින ශ්‍රී බෝධිරාජාරාමයේ චෛත්‍ය ගර්භය කඩා එහි තැන්පත් කර තිබු රන් නෙලුම් මලක් සහ මැණික් සොරකම් කර එම කැඩු ස්ථානය සිමෙන්ති බදාම යොදා නැවත වසා දමා ඇති බවට රොටුඹ පෙත්මඟ පුරාණ විහාරාධිපති ගම්මැදගම ඥානිස්සර ස්වාමින් වහන්සේ ඇතුළු දායක පිරිසක් රොටුඹ පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.


ඒ අනුව සැකකාර හිමිනම පසුගිය ජුනි 7 දින රාත්‍රි විහාරස්ථානයෙන් අතුරුදන්ව සිටි බවත් ඒ අනුව ගැවසෙන ස්ථාන ඔස්සේ කරන ලද පරීක්ෂණවලින් පසු සැකකාර හිමිනම අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පැවැසීය. අත්අඩංගුවට ගත් හිමිනමගෙන් දීර්ඝ ලෙස පොලිසිය ප්‍රශ්න කිරීමේදී රන් නෙලුම් මල මිලදී ගත් බම්බලපිටියේ රන් බඩු වෙළෙඳසලට නැවත එය විකුණා රුපියල් 1,35,000ක මුදලක් ලබාගත් බවත් එම මුදල්වලින් රුපියල් 25,000ක් දඹුල්ල ප්‍රදේශයේ සිටින සිය නැන්දාට වගා ළිඳක් සකස් කර ගැනීම සඳහා ලබාදුන් බවත් ඉතිරී  රුපියල් 40,000ක මුදල තුංකම සිය නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය ගඩොල් ඇතුළු ගොඩනැගිලී ද්‍රව්‍ය මිලදී ගත් බවත් පවසා ඇත.

රන් නෙලුම් මල බහා තිබූ පිත්තල කරඬුව සහ තවත්  කරඬුවක්, චෛත්‍ය ගර්භය කැඩීමට භාවිත කළ යකඩ උල් කටුවක්, අඬු  මිටියක් විහාරස්ථානයේ බුදුගෙයි මල් ආසනය යට සඟවා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන තිබේ. රොටුඹ දෙන්කන්දලීය ශ්‍රී බෝධිරාජාරාමය රොටුඹ පෙත්මඟ පුරාණ විහාරස්ථානයට අයත් වන අතර දෙන්කන්දලීය ශ්‍රී බෝධිරාජාරාමයේ චෛත්‍ය මීට මාස දහයකට පෙර කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ ධන පරිත්‍යගයෙන් ඉදිකර ඇති අතර වෛත්‍ය ඉදිකිරිම සඳහා වැඩ ආරම්භ කරන පින්කම, නිදන් වස්තු නැත්පත් කරන පින්කම මෙන්ම කොත නිරාවරණය කිරීම වෙනුවෙන් පැවැති පින්කමද මෙම සැකකාර ස්වාමීන් වහන්සේගේ මූලීකර්වයෙන් සංවිධානය කර තිබුණු බව පොලිසිය පැවැසීය.