දෙහිවල ටෙරන්ස් පාරේ බංග්ලාදේශ කාන්තාවක් නැවතී සිටි කාමරයක සූටිකේසයක් තුළ සඟවා ගිය රුපියල් ලක්ෂ 3කට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සොයාගත් බව දෙහිවල පොලිසිය කියයි. හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 886ක් තුළ තිබී ඇතැයි පොලිසිය කියයි. එම බංග්ලාදේශ ජාතික කාන්තාව
මේ වනව්ව විදේශ ගත වී ඇතැයි පොලීසිය කළ පරීක්ෂණවලදී අනාවණය වී ඇත. ටෙරන්ස් පාරේ නිවෙස් හිමිකරු මාසිකව රුපියල් තිස්පන් දහසක කුලී පදනම මත එම නිවසේ සාලය ඇතුළු කොටස් තුනක් මීට මාස හයකට පමණ පෙර බංග්ලාදේශ ජාතික කාන්තාවට ලබා දී ඇති අතර සෙසු කාමර දෙකක් පීරිමි ළමයින් දෙදෙනකුට ලබා ඇති බව පොලිසිය කියයි.

එක පිරිමි ළමයකු නැවතී සිටි කාමරයේ දොර කඩා ඇතුළු වූ පුද්ගලයකු ඔරලෝසු දෙකක් සොරා ගැනීමේ සිද්ධියකට පරීක්ෂණ පැවැත්වීම සඳහා එම නිවස වෙත ගිය දෙහිවල පොලීසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක

රුවන් ප්‍රභාත් මහතා මෙම මත්කුඩු සහිත පාර්සලය සොයාගෙන ඇත. එම නිවස වෙත ගිය උප පොලිස් පරීක්ෂකවරයා සොරකම සිදු වූ ස්ථානය පරීක්ෂා කිරීමෙන් පසු සෙසු කාමරවල නේවාසිකව සිටින අය පිළිබඳව නිවෙස් හිමියාගෙන් විමසීමේදී නිරතුරුවම විදේශ ගතව මෙරටට පැමිණෙන බංගලාදේශ කාන්තාව පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

ඇය රැකියාව වශයෙන් එරටින් රෙදි රැගෙන එන බවට නිවෙස් හිමියා පවසා ඇත. ඒ පිළිබඳ ඇති සැකය මත එම කාමරය තුළ බැලීමේදී දිලිසෙන රෙදි පටි වර්ග දමන ලද බෑග් විශාල ප්‍රමාණයක් හා කිරි සමඟ කුඩා දරුවන් ආහාරයට ගන්නා බිස්කට් ඇතුළත් ඇලුමිනියම් පාටින් යුත් පැකට් විශාල ප්‍රමාණයක් තිබෙනු දැක ඇතැයි පොලිසිය කියයි. ඒ අසලම එම දිලිසෙන පටි වර්ග දමන සූට් කේසය පරීක්ෂා කිරීමේදී ඒ තුළ සඟවා තිබූ හෙරොයින් මත්කුඩු තොගය සොයා ගැනීමට හැකි වී ඇත. මෙම කාන්තාව ගුවන්තොටුපොළේ ස්කෑන් යන්ත්‍රවලට හසුනොවන ආකාරයෙන් දිලිසෙන රෙදි පටි වර්ග අතර සගවා මත්කුඩු මෙරටට ප්‍රවාහනය කර ඇති බවට බොහෝදුරට සැක කළ හැකි යැයි පොලිස් නිලධාරියක් පැවැසීය.

සැකකාර බංග්ලාදේශ කාන්තාව මෙම නිවස කුලී පදනමට ගෙන මාස හයක් බවත් එම කාලය තුළ ඇයගේ මිතුරියන් බව කියමින් තවත් කාන්තාවන් කිහිප දෙනකු වරින් වර පැමිණ නවාතැන් ගත් බවත් නිවෙස් හිමියා පොලිසියට ලබාදුන් ප්‍රකාශයක සඳහන් වේ. එම නිවෙසට මේ වනවිට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් මුද්‍රා තබා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. සැකකාර කාත්තාව සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළ නිලධාරීන්ටද දන්වා ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවැසිය.

-එම්.සී.පෙරේරා-