බුලත්සිංහල ගෝවින්න, රැටියල නිවෙසක නිදි යහන මතදී සිය 80 හැවිරිදි සහෝදරීගේ ගෙල පිහියකින් කපා ඝාතනය කන ලද 75 හැවිරිදි සහෝදරයා නිවෙස පිටුපස රඹුටන් ගසක එල්ලෙමින්
මියයාමේ සිද්ධිය මේ වන විට සැකමුසු කාරණා ගණනාවක් සහිත සංසිද්ධියක් බවට පත්ව ඇත.
මෙලෙස ගෙල කැපීමට ලක්ව මියගොස් තිබුණේ පිඹුරගේ ලිලි නෝනා (80) හා සියදිවිසනසාගත් ලෙස හඳුනාගෙන තිබුනේ ඇයගේ සොහොයුරු වූ පිඹුරගේ ගුණසිරි (75) නම් අවිවාහකයෙකි.
පොලිස් පරීක්ෂාවේදී මියගිය කාන්තාව ඇයගේ වෛද්‍ය සායන පොතෙහි පිටුවක ලියන ලද ලිපියක් හමුව තිබුණ අතර එහි මෙසේ සටහන් විය.
'දැනට මල්ලීගේ ඇසකුත් පේන්නේ නැහැ. අනෙක් ඇසේ පෙනීමත් දුර්වලයි. කිසිවක් කර ගත නොහැකියි. මෙය ලියන මම එක්තැන් වී සිටින බැවින් ලිවීම අපහසුයි.

අනෙක් අයට කරදර නිසා ඕනෑවටයි මෙය සිදු කර ගන්නේ. කරදරයක් වෙන්න ඉඩ තියන්න එපා' මීට පී. ලීලාවතී
මේ ආකාරයට ලියන ලද කාන්තාවගේ ගෙළ කපා මරා තිබීම පුහේලිකාවක් බවට පත්ව ඇත.
සිය වැඩිමහල් සහෝදරයාගේ දියණියගේ නිවෙසේ පිටුපසට වෙන්නට තිබෙන කුඩා කාමර දෙකක මියගොස් සිටීන කාන්තාව හා ඇයගේ සහෝදරයා ජීවත්ව සිටි අතර ඔවුන්ගේ දුක සැප සොයා බලා ඇත්තේ එම ඥාති දියණිය හා අසල්වසීන් බවට සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

ගෙල කැපීමෙන් මරුමුවට පත්ව සිටි කාත්තාව මීට මාස කිහිපයකට පෙරදී සිදු වූ අනතුරක් හේතුවෙන්  එක්තැන් වී සිටින අතර ඒ සඳහා ප්‍රතිකාර ගැනීමට පෙරේදා (28දා) මරදන්කඩවල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු වෙත කැඳවා ගෙන යෑමට නියමිතව තිබී ඇතැයි පොලිසීය කීය. ඒ හේතුවෙන් ඉකුත් 27දා සිකුරාදා ඥාති දියණිය මේ දෙදනාම නවා පිරිසුදු කර ඇති බවද ඇය ලබාදුන් ප්‍රකාශයකින් හෙළි වී ඇත. එදින රාත්‍රි ඥාති දියණිය බුලත්සිංහල නගරයට ගොස් නිවසට පැමිණි පසු සිය පුංචි අම්මා හා මාමා පිළිබඳව සොයා බැලීමේදී මියගිය පුංචි අම්මා ඇඳ මත නිදා සිටි අයුරු දැක ඇති අතර මියගිය මාමා

පෙනෙන්නට නොසිටි බවද ඥාති දියණිය ලබා දුන් ප්‍රකාශයෙන් වැඩිදුරටත් හෙළි වී ඇත.

පසුදින (28දා) අලුයම ඔවුන් පිළිබඳව සොයා බැලීමේදී සිය මාමා රඹුටන් ගසක ගෙලට සිරවූ ලණුවකින් එල්ලෙමින් සිටී බවත් ඒ අසල පිහියක් තිබූ බවත් ඇය ලබාදුන් ප්‍රකාශයකින් කියැවේ. පුංචි අම්මා නිදා සිටි ඇඳ අසල ලේ පැල්ලමක් තිබෙනු දැක පරික්ෂා කිරීමේදී ඇයගේ ගෙල පෙදෙසින් ලේ ගලා යනු දක්නට ලැබුණු බවත් ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කළ බවත් ඥාති දියණිය පොලීසියට ලබාදුන් ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ. එම කාන්තාවගේ ප්‍රකාශය අනුව පොලිස් නිලධාරීන් එම නිවෙස් වෙත ගොස් සිදු කළ පරීක්ෂාවේදී අසූ හැවිරිදි කාන්තාවගේ මළ සිරුරට යට වී ඇඳ මත තිබූ ඇයගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර සටහන් කරන සායන පොතේ ලීයන ලද ලිපි හමුවූ බව පොලිස් නිලධරියක් පැවැසීය.

 මතුගම වැඩබලන මහෙස්‌ත්‍රාත් ප්‍රසාද් ඉඹුලේගොඩ මහතා මළ සිරුර හා සිද්ධිය වූ ස්‌ථානය නිරීක්‍ෂණය කර පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ පවත්වා වාර්තාවක්‌ ඉදිරිපත් කරන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කරන ලදී.

 මියගිය කාන්තාව විසින් ලියන ලද බවට සැකකරන ලිපියේ අත් අකුරු ඇගේම අත්අකුරුද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා පොලිසිය පරීක්‍ෂණයක්‌ ආරම්භ කොට තිබේ.