CICT නමැති චීන සමාගම මගින් අල්ලසක් ලෙස සැකකරන ආකාරයට රුපියල් එක්කෝටි අනූහතර ලක්ෂ දසදහසක මුදලක් (1,94,10,000)ක් පුෂ්පා රාජපක්ෂ පදනම නමැති ස්වේච්ඡා සංවිධානයට 2012 මැයි 21 වැනි දින ගෙවා තිබෙන බවට පසුගිය දිනවල ඇතිවූ කථාබහෙන් පසුව CICT නමැති එම සමාගම අදාළ මුදල් බැරකළ බව පිළිගෙන තිබේ.
විගණකාධිපති ඩබ්ලිව්. ඇම්. ගාමිණී විජේසිංහ මහතා විසින් පවත්වනු ලැබූ
විශේෂ විගණන පරීක්ෂණයකින්
C.I.C.T හෙවත් COLOMBO INTERNATIONAL CONTAINER TERMINALS LIMITED නමින් හඳුන්වනු ලැබ ඇති එම සමාගමේ චීන කොටස් ප්‍රමාණය සියයට අසූපහක් (85%) වන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කොටස් ප්‍රමාණය සියයට පහළොවකි (15%). ගිවිසුම අනුව යථෝක්ත සමාගම පර්යන්තය ඉදිකර ග්රැන්ටි දොඹකර ආදිය සවිකර දෙදහස් දහතුනේ ජූලි පළමු වැනි දින (2013.07.01) මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇත.
පුෂ්පා රාජපක්ෂ පදනමට එසේ ලබාදුන් මුදල දකුණු කොළඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා දැරූ වියදමක් වශයෙන් චීන සමාගම ගිණුම්ගත කර (ප්‍රාග්ධනිත කර) තිබූ බවද විගණන වාර්තාවෙන් හෙළිවිය.
එසේ ගිණුම්ගත කිරීමෙන් සිදුවන්නේ ඒ වියදම මේ රටේ මහජනතාවට ගෙවීමට සිදුවීටට ඇති දෙයක් ලෙස නම් කිරීම යයිද පරීක්ෂකයින් සටහනක් යොදා ඇත.
කෙසේ වෙතත් C.I.C.T දැන් පවසන්නේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ඉදිකිරීම සඳහා පරිත්‍යාගයක් කරන බව දක්වමින් එය ලබාදුන් බවකි. එය අල්ලසක් නොවන බවත් තම සමාගම ඒ ආකාරයේ සමාජ සත්කාර ඕනෑතරම් කරන බවත් කොස්ලන්ද නායයාම වැනි අවස්ථාවල උදව් කළ බවත් අලුත්ම මාධ්‍ය නිවේදනයෙන් පවසා තිබේ.
කෙසේ වෙතත් මුදල් ආධාර දිය යුතු ශ්‍රී ලංකාවේ අනන්ත අප්රමාණවත් ස්වේච්ඡා සංවිධාන තිබිය දී, චීන සමාගම පුෂ්පා රාජපක්ෂ පදනමම තෝරාගෙන ඇත්තේ කුමන කරුණක් නිසාද යන්න ගැටලුවට හේතුවී ඇත.
එසේම ඔවුන් පවසන ආකාරයට ඒ මගින් පුෂ්පා රාජපක්ෂ පදනම නිවාස ඉදිකර තිබේද යන්නද සොයා බැලීම වැදගත් වනු ඇත.