බුලත්සිංහල ප්‍රදේශයේ සිදු වූ රුපියල් දෙකෝටි විසි ලක්‍ෂයක මුදල් කොල්ලයට එම මුදල රැගෙන යමින් සිටි පෞද්ගලික ආරක්‍ෂක සේවාවේ සේවකයන් සම්බන්ධ බවට පොලිසිය සැක පහළ කරන බව උසස් පොලිස් නිලධාරියකු  පැවැසීය. පෞද්ගලික බැංකුවල ඒ.ටී.එම්. යන්ත්‍රවල තැන්පත් වී ඇති මුදල් එක්රැස් කරන
නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි අදාළ පෞද්ගලික ආරක්‍ෂක ආයතනයේ සේවකයන් කිහිපදෙනකුගෙන් ඉදිරියේදී මීට අදාළව ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවද එම නිලධාරියා සඳහන් කළේය.

එසේම මීට අදාළව අත්අඩංගුවට ගත් වෑන් රථ රියැදුරුගෙන් එහි සිටි ආරක්‍ෂක අංශ සේවකයගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකළ බව ද එම නිලධාරියා පැවැසීය. එසේම මෙම කොල්ලය සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් හයක් යොදවා ඇත. කොල්ලයට

පැමිණි සුඛෝපභෝගී ජීප් රථයට යොදා ගෙන ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් ජීප් රථයක අංකය බවට මූලීක පරීක්‍ෂණවලදී කරුණු අනාවරණය වූ බව උසස් පොලිස් නිලධාරීයක් පැවැසීය.මුදල් රැගෙන යමින් තිබූ වෑන් රථයේ රියැදුරු ආරක්‍ෂක නිලධාරියා හා මුදල් අයකැමිවරයකු ආහාර ගනිමින් සිටියදී ආපන ශාලාවට කඩා වැදී ඔවුන් දෙදෙනාට මිරීස් කුඩු ගසා අනතුරුව වෑන් රථයේ තිබූ මුදල් මලු දොළහක් කොල්ලකා පලාගොස් තිබිණි.

එම අවස්ථාවේදී එම මාර්ගයේ යතුරුපැදියකින් ගමන්ගත් යුවළක් වෑන් රථ රියැදුරුගේ දැනුම් දීම මත කොල්ලකරුවන් පැමිණි ජීප් රථයේ අංකය රියැදුරු වෙත ලබා දී තිබූ බව පොලිසිය කියයි. එම අංකය අනුව මෝටර් රථ දෙපාර්තමේන්තුව හරහා සිදු කළ පරීක්‍ෂාවේදී හෙළි වූ තොරතුරු අනුව නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි එම වාහනයේ ලියාපදිංචිය අයිතිකරු ගෙන්වා සිදු කළ ප්‍රශ්න කිරීමේදී මීට වසර දෙකකට පමණ ඉහත දී රාගම ප්‍රදේශයෙන් ජීප් රථය මිලදී ගත් බවට අනාවරණය වූ බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

එම ජීප් රථය දිවංගත අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ

නියෝජ්‍ය අමාත්‍යවරයකු කලකට ඉහතදී පරිහරණය කර ඇති බවට තොරතුරු ද අනාවරණය වූ බව එම පොලිස්  නිලධාරීයා කීය.කොල්ලකරුවන් හොරණ දෙස සිට බුලත්සිංහලට පැමිණ පහළ නාරගල ප්‍රදේශයෙන් නැවත හොරණ දෙසට පැමිණ ආපනශාලාව ඉදිරියෙන් යළි හොරණ දෙසට පැමිණි බවට සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ සිදුකළ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බුලත්සිංහල පොලිසියට අමතරව පානදුර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය, කළුතර දිසා අපරාධ ඒකකය, කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, මතුගම කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකයේ නිලධාරින් ද යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරීයෙක් පැවැසීය.

 සැකපිට අත්අඩංගුවට ගත් මුදල් රැගෙන ගිය වෑන් රථයේ රියැදුරු හා ආරක්‍ෂක නිලධාරියා මතුගම අධිකරණය වෙත ඉදිරීපත් කිරීමෙන් පසු එක් අයකු රුපියල් ලක්‍ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා නියෝග කළේය. මෙලෙස ඇප මත මුදා හැරියේ වෑන් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ අකුරැස්ස පොරඹ පටුමග කොටගොඩවත්ත පදිංචි නුවන් රසික හා ආරක්‍ෂක නිලධාරියා ලෙස කටයුතු කළ මැදිරිගිරිය අඹගස්වැව යසරත්න බණ්ඩාර යන දෙදෙනාය.