රෝගී තත්ත්වයක් නිසා වසර පහමාරක සිට තුන් වේලටම හරක් මස් පමණක් ආහාරයට ගෙන ජීවත්වන අවුරුදු නවයක දැරියක පිළිබඳව දෙහිඅත්තකණ්ඩිය පරගස්වැව ගම්මානයෙන් වාර්තා වෙයි.
උපතේ සිට අසාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්නුම් කළ අරලිය මුතු පබලු නමැති මෙම දැරියට වෙනත් ආහාර කිසිවක් ලබාගැනීම කළ නොහැකිවීම ගැන ඇයගේ මව වන ඩී.පී. විජේලතා වීරසිංහ මහත්මිය  මෙසේ විස්තර කරයි.
‘මේ දරුවා ඉපදුණේ 2008 . දරුවා ඉපදෙනකොට බර කිලෝ තුනහමාරක් තිබුණා. මව් කිරි හොඳට බිව්වා. කිරි බොනවිට දරුවාගේ බඩ පිම්බිලා එන්න පටන් ගත්තා. අනෙක් ළමයින්ගේ වගේ වැසිකිළි යන්නේ නැහැ.
වතුර තමයි ගියේ. ඒ තත්වය මාසයක් විතර තිබුණා. පස්සේ මම දරුවා පොලොන්නරුව රෝහලට අරන් ගියා. එහිදී දරුවා වාට්ටුවේ නතර කර ගත්තා. දරුවාට විවිධ ප්‍රතිකාර කළත් අඩුවක් වුණේ නෑ. වෛද්‍යවරුන්ගේ උපදෙස් පිට දරුවා කොළඹ රිජිවේ ළමා රෝහලට ඇතුළත් කළා. එහිදී දරුවාට කන්න පුළුවන් හැම කෑම වර්ගයක්ම දුන්න. නමුත් හරි ගියේ නැහැ. පස්සේ දරුවාට දිගටම දුන්නේ කොළපාට ඇපල් සහ ආනමාළු කෙසෙල් ගෙඩි පමණයි. මීට අමතරව ජීවනී දුන්නා. මම අවුරුදු හතරහමාරක් මගේ දරුවා කියාගෙන රෝහලේ හිටියා. පස්සේ ගෙදර එක්කරගෙන ආවා.

ඒ වෙනකොට  දරුවාට ඇවිදින්න බැහැ. නැගිටින්න බැහැ. බඩ ලොකු වෙලා තිබුණේ. අපි
විවිධ කෑම වර්ග දුන්නා. නමුත් හරි ගියේ නෑ. කෑමක් දුන්න ගමන් වමනය යනවා. ඒ මොහොතේම වැසිකිළියට යනවා. කාපු කෑම සියල්ලම දිරවන්නේ නැතුව යනව. පස්සේ දවසක් මම නිකමට වගේ හරක් මස් කෑල්ලක්
ගෙනත් හදල දුන්නා. මම ඒක කළේ හිතකින් නොවෙයි. අපි බෞද්ධයෝ හරක් මස් ගෙදරට කවදාවත් ගේන සිරිතක්
නැහැ. හැබැයි හරක් මස් කෑවාම දරුවාට එහෙම මොනවත් වුණේ නෑ .අපට පුදුම හිතුණා.පස්සේ අපි දිගටම දරුවාට හරක් මස් දෙන්න පටන් ගන්නා. හරක් මස් දෙන්න පටන් ගත්තම තිබුණ ලෙඩ අඩුවුණා.

නැගිටින්න බැරුව හිටිය දරුවා නැගිට්ටා. දැන් දරුවට අවුරුදු නවයක් වෙනවා. අවුරුදු හතරයි මාස හයේ ඉඳලම දරුවාට තුන් වේලටම දෙන්නේ හරක් මස්. හරක් මස් ගන්න සල්ලි නැති වුණාම කුකුල් මස් දෙනවා. නමුත් කුකුල් මස් දුන්නට හරක් මස් වගේ හරියන්නේ නැහැ. වෙනත් මොනව හරි දුන්නොත් ඇඟ සුදු මැලි වෙලා යනවා. ක්ලාන්තය හැදෙනවා. දැන් දරුවා පාසල් යනවා. බැලු බැල්මට රෝගි දරුවකු හැටියට පේන්නේ නැහැ. පාසලේ වැඩ හොදින් කරනවා. සමහර අවස්ථාවල පාසලේදී ලෙඩ වෙනවා. ඒ වගේ අවස්ථාවල මම පාසලට ගිහින් දරුවා අරන් එනවා.

මේ අවුරුදු නවය තුළම මම දරුවා වෙනුවෙන් වින්ද දුක් කියන්න බැහැ. දරුවාට ප්‍රතිකාර කරන්න සල්ලි නැති වුණාම අපි අන්ත අසරණ තත්ත්වයට පත්වුණා. ණයට ගත්තා. අන්තිමේදී ජීවත් වෙන්න තිබුණ එකම කුඹුරත් උකස් කළා.

අද වෙනකොට දරුවා හොඳින් හිටියත් මස් විතරක් කෑම නිසා දරුවා විවිධ රෝගවලට ගොදුරුවී සිටිනවා. දැනට දියවැඩියාව සහ වකුගඩුවල ගල් තියෙනවා. මේ සියල්ලටම ප්‍රතිකාර කරන්න ඕනෑ. මගේ ලොකු පුතාලා දෙන්නෙක් ඉන්නවා. දැන් ඒ අය හම්බ කරලා නංගි වෙනුවෙන් දෙනවා.
දරුවා දවසට හරක් මස් කිලෝ එකහමාරක් කනවා.
 මෙම රෝගය පිළිබඳව විස්තර කළ දෙහිඅතණ්ඩිය මුලික රෝහල් ළමා රෝග අංශයේ වෛද්‍ය පේදරුආරච්චි මහතා මෙසේ පැවසීය.

"Glucose-Galactose Malabsorption" ලෙස හදුන්වන මෙම ඉතාමත් විරල රෝග නත්වයේදී ශරීරයට ග්ලුකෝස්
හෝ ගැලැක්ටොස් අඩංගු කිසිදු ආහාරයක් අවශෝෂණය කර ගැනීමට නොහැකියාවක් දක්වනවා.
ලෝකයේම, දැනට මෙවැනි රෝගීන් 200 කටත් වඩා අඩු සංඛ්‍යාවක් ජීවත්වන බව සැලකෙනවා. අපි එදිනෙදා ජීවිතයේ ආහාර ලෙස භාවිතා කරන සියලුම පිෂ්ටය (කාබෝහයිඩ්‍රේට්) අඩංගු ආහාර, පලතුරු, එළවළු ශරීරය තුළ ජීර්නය වි අවශෝෂණය වන්නේ ග්ලුකෝස් ලෙසයි. සියලුම කිරි ආහාර ජීර්ණයේ
අවසන් ඵලයක් ලෙස ගැලැක්ටෝස් ශරිරයට උරාගැනීම සිදුවෙනවා. මෙම සංයෝග දෙකම බඩවැල් (කුඩාන්ත්‍රය) තුළදී ශරීරයට අවශෝෂණය කරගැනීමට අවශ්‍ය එන්සයිමයක් අකර්මණ වීම මෙම රෝගයට හේතුව ලෙස සඳහන් කරන්න පුළුවන්.
මෙම තත්ත්වය ඡානගන රෝගයක් වන අනර. ඉහත පෝෂක වර්ග දෙකම අඩංගු නොවන ආහාර පමණක් ආහාරයට ගැනීම හැර වෙනන් නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් මෙතෙක් සොයාගෙන නැහැ. කෙසේ නමුත්, ගවමස්වල ඇති සුවිශේෂ පෝෂක සංයුතිය නිසා, මේ රෝගියාට ගවමස් පමණක් කිසිදු රෝග ලක්ෂණයක් ඇති නොවන ලෙස භාවිත කරන්න පුළුවන්. ඉතා සරලව පැහැදිලි කරනවං නම්, මේ දරුවා ජීවත් කරවීමට දැනට ලබාදිය හැකි එකම ආහාරය ගවමස් පමණයි."