හෙරොයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන්ට පමණක්‌ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත දෙනු ලබන උත්තේජක ප්‍රති ජීවක ඖෂධ පෙති ජාවාරමෙහි යෙදුණු තිස්‌සමහාරාම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන
උසස්‌ පෙළ ශිෂ්‍යයෙකු තිස්‌සමහාරාම මහෙස්‌ත්‍රාත් ප්‍රසන්න ලක්‍ෂ්මන් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු. ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇපයක්‌ මත මුදාහරින ලෙස නියෝග කළේය.

මෙලෙස ඇප නියම වූයේ තිස්‌සමහාරාම

ප්‍රදේශයේ පාසලක උසස්‌ පෙළ හදාරන එම ප්‍රදේශයේම සිසුවෙකුටය.

මොහු වෛද්‍යවරයෙකුගේ නිල මුද්‍රාව ස්‌කෑන් කර ව්‍යාජ ලෙස එම ඖෂධයේ නම සඳහන් කොට ෆාමසිවලට ඉදිරිපත් කොට කලක්‌ තිස්‌සේ මෙම ඖෂධය ලබාගෙන ඇති අතර ඒ පිළිබඳව සැක සිතූ ෆාමසි හිමියා අදාළ වෛද්‍යවරයාගෙන් මේ පිළිබඳව විමසන ලදුව මෙය ව්‍යාජ බෙහෙත් තුණ්‌ඩුවක්‌ බව අනාවරණය වී ඇත. වෛද්‍යවරයා විසින් මේ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක්‌ ඉදිරිපත්කොට ඇත.

 ඒ අනුව කතරගම පොලිසියේ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් මෙම සිසුවා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා තිස්‌සමහාරාම පොලිසියට භාරදී ඇති අතර තිස්‌සමහාරාම පොලිසිය මගින් සිසුවා අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

රාජා වෛද්‍යසේකර - අම්බලන්තොට