කටුනායක ගුවන්තොටුපොළ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ විදුලි උපකරණ අලවිසලක සේවය කරන සේවකයන් තිදෙනකු විදේශ මුදල් සහ විදේශීය මත්පැන් තොගයක් ගුවන්තොටුපොළෙන් පිට කර තම නිවෙස් කරා ගෙන යැමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල්
ජයරත්න මහතා පැවසීය.

මොවුන් තිදෙනාගෙන් එක් අයකු 36 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අනෙක් පුද්ගලයා 28 හැවිරිදි දංඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනෙක් තැනැත්තිය රූග්ගහවිල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි කාන්තාවකි.

පෙරේදා (29දා) උදෑසන 10.40ට පමණ මෙම කාන්තාව, තමන් ඇඳ සිටි හැට්ටයේ මෙම විදේශ මුදල් තොගය සඟවාගෙන තිබූ අතර එම මුදල් තොගයේ වටිනාකම රුපියල් 12,98,757කි.  මීට අමතරව ඔවුන්ගේ ගමන් මලුවල සඟවාගෙන රැගෙන යෑමට තැත් කළ  'පාස්පෝට්' නමැති විස්කි බෝතල් 06ක වටිනාකම රුපියල් 29,034කි.  මෙම සියල්ලේම වටිනාකම රුපියල් 13,27,791ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එච්.ඩබ්ලිව්. දිසානායක මහතා මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණය පැවැත්විය. විදේශ මුදල් සහ විදේශීය විස්කි බෝතල් 6 රාජසන්තක  කළ අතර කාන්තාවට රුපියල් ලක්ෂයක් සහ දෙහිවල ප්‍රදේශයේ පුද්ගලයාටයන් 50,000ක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළ අතර අනෙක් පුද්ගලයාට අවවාද කර නිදහස් කළේය.

-ගයා තිරිමදුර-