අපේ රටේ සිදුවන  ස්වභාවික මරණවලට ප්‍රධානතම හේතුව හෘද රෝග බවත්, දිනකට හෘද රෝගවලින් රෝගීන් 120 ත්, 150 ත් අතර සංඛ්‍යාවක් මිය යන බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර ඒකකයේ ප්‍රධානී, හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතා පවසයි. කිරීටක
හෘද රෝග, ළමා හෘද රෝග, කපාටවල ප්‍රශ්න නිසා හෘද රෝගීන් මිය යන බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා වැඩිහිටි අවස්ථාවේ සහ පූර්ව වැඩිහිටි අවස්ථාවේ සිදුවන ස්වාභාවික මරණවලට ප්‍රධාන හේතුව කිරිටක හෘද රෝග බවද සඳහන් කළේය.

 වකුගඩු රෝගවලින් මෙරට මිය යන්නේ දිනකට තිදෙනකු බව පවසන විශේෂඥ වෛද්‍යවරයා ඒ වාගේ පස් ගුණයක් දිනකට හෘද රෝගීන් මිය යන බවද පැවැසීය.  ස්වභාවික මරණ සදහා ප්‍රධානතම හේතුව හෘද රෝග බව පවසන විශේෂඥ වෛද්‍යවරයා මෙරට බෝ නොවන රෝග නිසා දිනකට 250 ක්

පමණ මිය යන බවද සඳහන් කළේය. මින් 120 ක්, 150 ක් අතර සංඛ්‍යාවක් මියයන්නේ හෘද රෝග නිසා බවද විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතා පැවැසීය. මේ පිළිබඳ අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතා මෙසේද කීවේය.

ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ ඕනෑම රටක ස්වභාවික මරණ සදහා ප්‍රධාන හේතුව තමයි හෘද රෝග. විශාල වශයෙන් නිවාරණය කරන්න පුළුවන් හෘද රෝග වර්ගය තමයි කිරීටික හෘද රෝගය. මේ සඳහා බයිපාස් සැත්කම් කළ යුතු වෙනවා. ස්ටෙන් දමන්න වෙනවා. මේ සදහා ඉල්ලුම හා සැපයුම අතර විශාල පරතරයක් තියෙනවා. දිනකට හෘද සැත්කම් කළ යුතු  රෝගීන් 50 ක්, 60 ක් විතර ඉන්නවා. නමුත් අපේ රටේ රජයේ හා පුද්ගලික රෝහල්වල දිනකට හෘද සැත්කම් 12 ක් පමණ තමයි කරන්නේ. ඒ නිසා  තමයි පොරොත්තු ලේඛනය වැඩිවෙලා තියෙන්නේ.

මගේ පොරොත්තු ලේඛනයේ හෘද සැත්කම් කළ යුතු රෝගීන් 3000 ක් විතර ඉන්නවා. හෘද රෝගියකුගේ ඩයි පරීක්ෂණය කරලා වසරක් ඇතුළත හෘද සැත්කම් කළ යුතුයි. දෙවැනි හෘදයාබාධය ඇතිවීම වළක්වා ගැනීමට තමයි බයිපාස් සැත්කම කරන්නේ. අධික තෙල් සහිත අහාර ගැනීම, කොලෙස්ටරෝල්, රෝගියාගේ  ජානගත ස්වභාවය, දියවැඩියාව, රුධිර පීඩනය ව්‍යායාම මදිකම, මානසික ආතතිය යන හේතු කිරීටික හෘද රෝගවලට බලපානවා. රුධිරවාහිනී මත කොලෙස්ටරෝල් කැල්සියම් තැන්පත් වෙනවා.

 රුධිර නාලයේ විෂ්කම්භයෙන් සියයට 70 ක් විතර අවහිර වූ විට තමයි පපුවේ වේදනාව ඇති වන්නේ. රුධිර නාලය සියයට 70 ක් දක්වා අවහිර වනතෙක් රෝගියාට මේ ගැන කිසිදු දැනීමක් නැහැ. ඒ නිසා රෝගී තත්ත්වය මූලික අවස්ථාවේ හඳුනා ගන්න බැහැ. වෛරස් අසාදනයකදී, හිතේ කම්පනයක්, විශාල තෙල් සහිත ආහාරයක් ගැනීම යන අවස්ථාවලදී තෙල් නිධිය ඉදිමිලා, පුපුරලා  ලේ ගැලුවහොත් වැසී යනවා. කිරීටක ධමනි සිදුර වැසී යනවා. මේ නිසා පැය 06 ක් වගේ කෙටි කාලයක් ඇතුළත ප්‍රථිකාරයක් කළ යුතු වෙනවා යැයිද විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතා පැවැසීය.


-කමල් විජේහේවා-