මේ වනවිට ඉන්දියානු මාධ්‍ය කළඹවාලූ ප්‍රවෘත්තියකින් කියැවෙන්නේ ඉන්දියාවේ දිල්ලියේ නිවසක එකම පවුලක සාමාජිකයින් 11 දෙනෙක් මියගොස් සිටියදී සිරුරු සොයා ගත් බවකි. ඉරිදා උදෑසන උතුරු දිල්ලියේ බුරායි ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වී තිබේ. ඔවුන්ගෙන් 10 දෙනෙකු සිවිලිමේ එල්ලී මිය ගොස් සිටි බවත්
වයස අවුරුදු 75 ක පමණ වූ කාන්තාවක බිම වැතිරී සිටියදී සොයා ගත් බවත් පැවසිණි.මියගිය අයගෙන් වැඩි දෙනෙකුගේ දෑස් බැඳ දෑත් පිටුපසට වන්නට බැඳ තිබිම නිසා මෙය සමූල ඝාතනයක් බවට සැකකරන නමුත් මිත්‍යා දෘෂ්ටික ඇදහිල්ලක් ගැන සැකයක්ද පවතින බව පොලිසිය පවසයි.

මියගිය 7 දෙනෙකු කාන්තාවන් වන අතර ඒ අය 75,60,42,38 ,30,24 සහ 22 වයස්වල පසුවන බවත් මියගිය පිරිමි 4 දෙනා 46,42,12 සහ 12 වයස්වල පසුවන්නන් බවත් පොලිසිය වාර්තා කර තිබේ.

මෙම නිවසේ පිරිස එක්වී පවුලේ ව්‍යාපාරයක් ලෙස ග්‍රොසරියක් පවත්වා යන අතර එය උදෑසන 6 ට විවෘත කරන නමුත් සිද්ධිය වූ දිනයේ එය විවෘත කිරීම ප්‍රමාදවී තිබේ. ඒ අතරවාරයේ නිවසට දිනපතා කිරි රැගෙන එන වෑන් රථයක් දොර විවර කරන ලෙස හෝන් ගසමින් සිටි බවත් කිසිවකු එළියට එන්නේ නැති නිසා ඒ සම්බන්ධයෙන් විමසිලිවත්වූ අසල්වැසියෙකු නිවසේ ඉහළමාලයට බාහිරින් යන තරප්පුපෙළක් දිගේ ගොස් පරීක්ෂා කිරීමේදි මෙම මළ සිරුරු දැක ඇති බවත් වාර්තාකර තිබේ. පසුව පොලිසියට දැන්වීමෙන් පසු මෙම ආරංචිය ළැව්ගින්නක් සේ පැතිරිණි.
මරණයට හේතුව කුමක් ද යන්න මෙතෙක් පැහැදිලි නොමැත. කෙසේ වෙතත් ඇතැමුන් පවසන්නේ මෙම පවුල  මිත්‍යා දෘෂ්ටික “ගුප්ත ඇදහිලි” සිදුකරන පිරිසක් බැවින් මෙම මරණ සහ ඒ ඇදහිලි අතර සම්බන්ධයක් ඇති බවට සාක්ෂි තිබිය හැකි බවයි.

පොලිසිය සිදු කළ පරීක්ෂණ වලදී ඔවුන් විසින් ‘මරණය සොයායාම ‘ගැන ලියා තිබුණ ඇදහිලි ආශ්‍රිත ලිපිද හමුවී ඇත. මෙම අය සියල්ල ඇදහිලි සදහා දායකවූ බව අසල්වැසියන් සාක්ෂි සපයා ඇත. ඒවා ගැන පරීක්ෂණ සිදුකරන නමුත් මෙම අවස්ථාවේ ඔවුන් මරණයට පත්වීම සිදු කරන බවට සාක්ෂි තවම නැති බවද පොලිසිය පවසා තිබේ.
වසර 20 ක් පමණ මෙම නිවසේ හිමිකරුවන් මෙම ස්ථානයේ වාසය කර තිබේ. ඔවුන්ට ග්‍රොසරියට අමතරව ප්ලයිවුඩ් ව්‍යාපාරයක් හා කිරි ගොවිපළක්ද තිබී ඇත.
මියගිය අය එකම පවුලක මවකද ඇගේ දරුවන්වූ සහෝදර සහෝදරියන් හා එම දරුවන්ය.

ළාබාල තරුණිය මෙම වසරේ විවාහ ගිවිසගෙන වසර අග උත්සවය පවත්වන්නට සූදානමින් සිටි අයෙකි.
 කෙසේ වෙතත් මෙම නිවස හා ආසන්න පෙදෙසේ මීට සති දෙකකට පෙර පාතාල ගැටුමක් හා ඝාතන කිහිපයක් සිදුවී තිබෙන බවත් මෙම මරණ හා ඒ සිද්ධි අතර සම්බන්ධයක් තිබිය හැකි බවට තවත් මතයක්ද පහළවී තිබේ.පොලිසිය මේ ගැන පරීක්ෂණ අරඹා ඇති අතර අසල්වැසියන්ගෙන් ප්‍රශ්න කිරීම සහ  CCTV දර්ශන පරීක්ෂා කිරීම මේ වනවිටත් සිදුවේ.