කටියන්ගල්ල නව ගම්මානයේ පදිංචි නව හැවිරිදි බාල වයස්‌කාර පිරිමි දරුවකු අපයෝජනය කළ බව කියන හමුදා සෙබළෙකුට ගම්වාසීන් විසින් පහරදීමෙන් ඔහු (28දා) ප්‍රතිකාර සඳහා කැකිරාව රෝහලට ඇතුළත් කර ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි.
මෙම පුද්ගලයා (28දා)

පස්‌වරුවේදී සිය යතුරුපැදියෙන් දරුවාගේ නිවසට ගොස්‌ දෙමාපියන්ටත් හොරා දරුවා රවටාගෙන සිය නිවසට කැඳවාගෙන ගොස්‌ දරුවා අපයෝජනය කර ඇති බව පොලිසිය කියයි. මෙසේ ගම්වාසීන්ගේ පහර කෑමට ලක්‌ව ඇත්තේ ඉපලෝගම සේනපුර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි විවාහක හමුදා භටයෙකි. මෙම පුද්ගලයා එම ප්‍රදේශයේම හමුදා කඳවුරකට අනියුක්‌තව සේවය කරන අයෙකි.

වතාවක්‌ දෙවතාවක්‌ සිදුවූ ගැහැට ඉවසා ගත නොහැකිවූ දරුවා සැකකරුගෙන් මිදී වෙල්යායක්‌ මැදින් සැතපුමක්‌ පමණ දිව යද්දී හමුවූ ගම්වාසියකු සමඟ සිය නිවසට ගොස්‌ තිබූ බවද පොලිසිය සඳහන් කළේය. සිද්ධිය අනාවරණය වීමෙන් පසුව සැකකාර හමුදා භටයාට ගම්වාසීන් එක්‌ව පහරදීමෙන් අනතුරුව ඔහු මෙලෙස කැකිරාව රෝහලට ඇතුළත්ව තිබිණි. සැකකරුගේ බිරිඳ මීට මාස කිහිපයකට පමණ පෙර විදෙස්‌ගත වී ඇති බවද පොලිසිය කියයි. සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වන ඉපලෝගම පොලිස්‌ ස්‌ථානාධිපති උඩුකුඹුර මහතා සඳහන් කළේය.

- එම්. එම්. පී. ජී. පෙරේරා -