සුගිය සති අන්තයේ තලාව නගරයේ පිහිටි ලංකා බැංකුව බිඳ එහි තිබූ කෝටි 9 කට අධික රන් භාණ්ඩ සහ මුදල් සොරකම් කිරීමේ සිද්ධිය සොරකම් කරන්නන්ගේ සූක්ෂ්ම බව මෙන්ම බැංකුවක ආරක්ෂාව පිළිබද ගැටලුකාරී තත්වය පෙන්නුම් කරන්නකි.
මෙම ලංකා බැංකු ශාඛාවේ සති අන්තයේ වසා තිබුණ අවස්ථාවේ කොල්ලකෑම සිදුව ඇති අතර සතිඅන්තයේ  කිසිදු ආරක්ෂක නිලධාරියෙකු යොදවා නැති අතරේ
බැංකුවේ පිටුපස දොර කඩා ඇතුළු වී එහි ඇති ආරක්ෂක සංඥා පද්ධතිය සීසීටීවී උපකරණ සියල්ල ගැලවීමෙන් අනතුරුව  මෙම සොරකම සිදු කර ඇත.

බැංකුවෙ ඇතුළේ කැමති තරම් වේලාවක් රැදී සිට එහි ලිපි ලේඛන අසුරා තිබූ ගෝනි හිස් කර ඒවාට මුදල් හා ස්වරණාභරණ සියල්ල දමාගෙන

කොල්ලකරුවන් පළා ගොස් තිබුණ අතර සිකුරාදා වැඩ ඇරී ගිය කළමනාකරු සදුදා වැඩට ආ පසුව දොර ඇර බලන තුරු මෙම කොල්ලය ගැන කිසිදු දෙයක් දැනසිට නැත.
බැංකුවට පවතින ආරක්ෂාව අඩුවීම නිසා මෙවන් කොල්ලයක් සිදුකරන්නට කොල්ලකරුවන්ට පහසුවී තිබේ.‍
 බැංකුවේ ආරක්ෂක නිලධාරීන්ද සිකුරාදා නිවාඩු ගිය පසු එන්නේ සදුදා උදේ බව වාර්තා විය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 08ක් විවිධ පැතිකඩ ඔස්සේ විමර්ශන සිදු කරන බවත් යාබද ආයතනවල සීසීටීවී පරීක්ෂණයට ලක්කරන බවත් පවසා ඇත.

ආරක්ෂක සුනඛයින් යොදා කළ පරීක්ෂාවේදී කිසිදු හෝඩුවාවක් ලබාගන්නට බැරිව ගොස් ඇත.
මෙම සොරකම ඉකුත් 29 වැනිදා සවස 6.00ත්, ඊයේ (02දා) උදෑසන 7ත් අතර කාලය තුළ සිදු කර ඇති අතර සේප්පු කඩා රුපියල් 17,000,00ක මුදලක් සහ උකසට ගෙන තිබූ කිලෝ 22යි ග්‍රෑම් 900ක් බර රුපියල් 78,000,000ක් වටිනා රන් ආභරණ සොරකම් ඇතැයිද අනාවරණය කරගෙන තිබේ.

සීසීටීවී යන්ත්‍රවල දත්ත රැස් කරන කොටස කඩාගෙන යාම නිසා සාක්ෂි විනාශකර තිබෙන අතර සේප්පු අරිනවිට පොලිසිය දැනුවත් කරන එළාම් සවිකර තිබුණද කිසියම් ආකාරයකින් එම එලාම් පද්ධතිය මගහැර එය විනාශ කර ඇතුළුවීමට කොල්ලකරුවන් සූක්ෂ්මවී තිබේ.
සැකකරුවන් විසින් අදාළ කොල්ලයට යොදාගත් බවට සැකකරන ආයුධ කිහිපයක්ද පොලීසිය භාරයට ගෙන තිබේ.
මේ හා සමාන කොල්ලයක් මින් ඉහත අනුරාධපුර නගරයේ බැංකුවකද සිදුකර තිබෙන බව පොලිසිය සදහන් කර තිබේ.විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකය.