රුපියල් ලක්ෂ පහකට අධික මුදල්, පරිගණකයක්, ගුවන් ගමන් බලපත්‍ර දෙකක්, තායි මුදල් යන දේපොළ සහිත ගමන් මල්ලක් ත්‍රිරෝද රථ රියදුරකු විසින් කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන ද සිල්වා මහතාට 28දා භාරදී තිබේ.
පොලිස් ස්ථානාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ එම ගමන් මල්ල අයිතිකරුට ඒ ත්‍රිරෝද රථ රියදුරු අතින් යළි එදිනම භාරදෙනු ලැබූ අතර, එම බෑගයේ අයිතිකරු තමාට කළ උපකාරය වෙනුවෙන් ත්‍රිරෝද රථ රියදුරුට ලබාදුන් රුපියල් පනස් දහසක මුදලද භාරගැනීම ත්‍රිරෝද රථ රියදුරු කාරුණිකව ප්‍රතික්ෂේක කර තිබේ.  මෙම ගමන් මල්ල පොලීසියට භාරදී ඇත්තේ දෙහිවල, කළුබෝවිල විමලසාර පාරේ පදිංචි එන්.සෙල්වරාජ් (රාජා) නමැති දෙදරු පියෙකි. ඔහු  කළුබෝවිල, දෙහිවල හා කොළඹ ප්‍රදේශයන්හි සැරි සරමින් කුලී ගමන් ගොස් සිය ජීවිකාව  සිදු කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක් වූ ත්‍රිරෝද රථ රියදුරු වන සෙල්වරාජ් මහතා,

"පෙරේදා 28 උදේ මම ත්‍රීවිල් එක සර්විස් කරන්න දාන්න හිතාගෙන තිබුන බඩු බාහිරාදිය ඉවත් කරමින් සිටියා. මම නිකමට වගේ පසුපස අසුන පිටුපස දිහා බලන කොට කළුපාට බෑගයක් දැක්කා. මම ඒක අතට අරගෙන ගේ ඇතුළට ගිහිං මගේ නෝනාට කතා කරලා අපි දෙන්නම ඒක ඇතුළ බැලුවා. මම ටිකක් කල්පනා කළා මේ වගේ බෑග් එකක් අරගෙන කවුද ත්‍රීවිල් එකට නැග්ගේ කියලා. මේ මහත්තයා තව නෝනා කෙනෙකුයි මහත්වරු සිව්දෙනකුත් එක්ක කොල්ලුපිටිය පොලීසිය ළග ඉඳලා දෙහිවලට ගියා නේද කියලා මගේ මතකයට ආවා. ඒත් ඒ මහත්තයා කොහේ පදිංචි ඒකෙනෙක්ද කියලා මම දැනගෙන හිටියේ නැහැ. ත්‍රිරෝද රථ සර්විස් කරන ඒක පස්සට කල් දාලා මම ශානිත් එක්කම කොල්ලුපිටිය පොලීසියට ඇවිත් ලොකු මහත්තයාට විස්තරේ කියලා සියලුම දේවල් භාර දුන්නා.

පොලීසියේ ලොකු මහත්තයා මටයි නෝනයි ස්තුති කරලා තේ පැන් සංග්‍රහයකුත් දුන්නා. 27දා සවස මේ දේපොළ ත්‍රිරෝද රථයක අමතක වෙලා දමා ගියා කියලා පැමිණිල්ලක් පැමිණි බවත් කිව්වා. බෑගය අයිති මහත්තයා ආවාම පොලීසියේ ලොකු මහත්තයා මට කීවා ඔයාම බෑග් එක දෙන්න කියලා. මම බෑග් එක දීලා කිව්වා මහත්තයා හොඳට බලන්න මොනවා හරී අඩුද කියල. එයා බලලා කිවා මොනවත් අඩු නැහැ කියලා. ඒ මහත්තයා මට එම මුදල්වලින්ම රුපියල් පනස් දහසක් දෙන්න හැදුවත් මම ගත්තේ නැහැ. අද කාලා හෙට කන්නේ කොහොමද කියලයි මම ජීවිතේ ගෙවන්නේ. ඒත් මහත්තයෝ අනුන්ගේ දේවල් ගන්න හොද නැහැ."
සෙල්වරාජ්ගේ මෙම උතුම් ක්‍රියාව ඔබ අප සැමටම ලැබෙන පූර්වාදර්ශයකි.