රජය පොරොන්දු වූ වැටුප් වැඩිවිම වහාම ලබාදෙන ලෙස ඉල්ලමින් දුම්රිය රියැදුරු, දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය නියාමකවරුන්, දුම්රිය පාලකවරුන් ඇතුළු ප‍්‍රධාන දුම්රිය වෘත්තීය සමිති 11 ක් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. මෙම වර්ජනය හේතුවෙන් රටපුරා දුම්රිය ධාවන කටයුතු දැඩි ලෙස අඩාල වන බව දුම්රිය නියාමක සංගමයේ ලේකම් ජානක ප්‍රනාන්දු මහතා පැවැසීය.

අදාළ දුම්රිය සේවකයන්ගේ වැටුප් තල රාජ්‍ය සේවයේ එමි දෙක (M2) වැටුප් තලය දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරේ. පසුගිය 2017 වසරේ දෙසැම්බර් මාසයේදීද අදාළ දුම්රිය වෘත්තීය සමිති ඉහත ඉල්ලීම මුල්කර ගනිමින් දින 7 ක අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කළේය.

ඉන්පසු කැබිනට් මණ්ඩලය දුම්රිය සේවකයන්ගේ ඉහත ඉල්ලීම විසදීම සඳහා ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත් කළේය. එම කමිටුව දුම්රිය සේවාව සංවෘත සේවාවක් බවට පත්කරමින් ඉහත දුම්රිය සේවකයන්ගේ වැටුප් තල වෙනස් කිරීමට එකගතාව පළකර තිබුණි.

එම පාරාන්දුව මත දුම්රිය සේවකයන් දින 7 ක අඛණ්ඩ වර්ජනය අතහැර දැමීය.කෙසේ වෙතත් අදාළ අනුකමිටුව දුම්රිය සේවකයන් වෙත ලබාදුන් එකගතාව මාස 8 ක කාලයක් ගතව ඇතත් මෙතෙක් ඉටුකර නොමැති අතර මේ සඳහා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු කැබිනට් පත්‍රිකාද ඉදිරිපත් කර නොමැති බව දුම්රිය නියාමක සංගමයේ ලේකම් ජානක ප්‍රනාන්දු මහතා පැවැසීය. ආණ්ඩුව අදාළ එකගතාව මෙතෙක් ඉටු නොකිරීමට එරෙහිව සහ සිය වැටුප් තලය ලබාගැනීම වෙනුවෙන් අදාළ වර්ජනය ක්‍රියාත්මක කරන බව ජානක ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවැසීය.

-පානුක රාජපක්ෂ-