කොළඹ විහාර මහා දේවි උද්‍යානයට සහ කාක දූපත උද්‍යානයට මේ දක්වා පැමිණෙන දරුවන්ට නොමිලේ ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවී තිබුණත් මින් පසු ක්‍රීඩා කිරීමට පැමිණෙන කුඩා දරුවෙකුගෙන් පැයකට
රුපියල් 400 බැගින් පෞද්ගලික සමාගමක් වෙත අය කරගැනීමට අවස්ථාව ලබාදී ඇත. මේ පිළිබඳ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ අනුදැනුම මත ගෙනා යෝජනාවක් කොළඹ මහ නගර සභාව සම්මත කරගෙන තිබේ.
දැනට මෙම ස්ථානවල නොමැති අලුත් ක්‍රීඩා අංගෝපාංග මෙම සමාගම විසින්

ගෙන්වා මාස 2 ක් ඇතුළත සවිකරන බවට දන්වා ඇති අතර ඒවාට යන වියදම හා නඩත්තු වියදම ලෙස වයස අවුරුදු 5-10 අතර දරුවෙකුගෙන් විනාඩි 15කට රුපියල් 100 බැගින් අය කරගැනීමටත් පැයක්ම සිටින්නේ නම් රුපියල් 400 වනු ඇති බවත් ගාස්තු සඳහන් කර ඇත.
මෙම මුදල් නගර සභාවට නොව අදාළ සමාගම වෙත අයවනු ඇතැයි වාර්තා වන අතර කොළඹ මහ නගර සභාවට මාසිකව රුපියල් 10,000ක් පමණක් ගෙවීමට අදාළ පුද්ගලික සමාගම එකඟ වී ති‍බේ.
කොළඹ මහ නගර සභාවේ මුදල් කමිටුවේ නිර්දේශ පරිදි මහා සභාවට ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලැබී ඇත.ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පස් දෙනා පමණක් විරුද්ධ වී තිබේ.