හබරාදුව, උණවටුන වැල්ලේ දේවාලයේ වාර්ෂික උත්සවයට  සහභාගි වීමට පැමිණෙන බැතිමතුන්ට අලෙවි කිරීම සදහා සෞඛ්‍යාරක්ෂිත නොවන ආකාරයෙන් ආහාර ද්‍රව්‍ය  අලෙවි කරමින් සිටි තවකාලික හෝටල් සහ
ආපනශාලා හිමියන් 57 දෙනකුට අවවාද කළ බවත්, වෙළඳුන් තිදෙනකුට නඩු පැවරීමට කටයුතු යොදා ඇති බවත්, හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කුමාර සුන්දර මුදලිගේ මහතාගේ උපදෙස් මත, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.ඒ.ජී කොඩිතුවක්කු මහතාගේ

අධීක්ෂණයෙන්,මහජන සෞඛ්‍යකවරුන්  වන අචින්ත සමරසිංහ, ඒ.වී. ජයසිරි, එන්.ජේ. පුංචිහේවා, මාධව සිරිවර්ධන, ඩබ්. ලක්ෂාන් යන නිලධාරීන් විසින් වැල්ලේ දේවාල වර්ෂික උත්සවයට සමග තාවකාලිකව ඉදිකර නිබූ වෙළෙඳසල් පරීක්ෂා කළහ. එහිදී මැස්සන්ට සහ  දූවිලිවලට නිරාවරණය වන සේ තබා තිබූ එළවළු රොටි සහ බිත්තර රොටි දෙසියකට අධික ප්‍රමාණයක් විනාශ කිරීමට නියෝග කළ අතර, මුද්‍රිත පත්තර පිටු මත තබා තිබූ  රෝල්ස්, වඩේ ඇතුළු ආහාර තොගයක් විනාශ කිරීමට නියෝග කළේය.

සිසිල් බීම සෑදීමට යොදා ගත් ප්‍රමිතියට අනුකූල නොවන වර්ණක බෝතල්  40ක් වෙළෙඳසල් 3කින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සොයා ගත් අතර, එම වෙළෙඳසල් හිමියන්ට අගෝස්තු 09 වැනිදා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත. වැල්ලේ දේවාලයේ වාර්ෂික උත්සවය ජූලි 27 වැනිදා සිට 02 වැනිදා තෙක් පැවැත්වේ .ජූලි 26 වැනිදා සිට 31 දක්වා වෙළෙඳසල් පරීක්ෂා කළහ. එහිදී අවවාද  කිරීම් 57ක් කර ඇත.