රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව අධ්‍යාපන අමාත්‍යාශය යටතේ තිබියදී සමස්ත පෙළ පොත් මුද්‍රණයෙන් 98%ක් පෞද්ගලික මුද්‍රණාලවලට ලබාදීම බරපතළ දූෂණයක් බව ලංකා ගුරු සේවා සංගමය
පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පෙන්වා දෙන්නේ පාසල් පෙළ පොත් වර්ග 410ක් මුද්‍රණය කරන අතර රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට ලබාදී ඇත්තේ පෙළ පොත් වර්ග 24ක් පමණක් බවයි.

ඉතිරී පෙළ පොත් අතරින් වර්ග දෙකක් පමණක්

රජයේ මුද්‍රණාලයට ලබාදී ඉතිරී සියලු පෙළ පොත් වර්ග මුද්‍රණය පෞද්ගලික  මුද්‍රණකරුවන් 26ක් අතරේ බෙදාහැර තිබෙන බවත් පෙළ පොත් සඳහා රුපියල් මිලියන 4385ක් අධ්‍යාපන අමාත‍්‍යාංශය වියදම් කරන බවත් ඔහු සඳහන් කළේය. සමස්ත පෙළ පොත් ප්‍රමාණයෙන් 95%කට වැඩි  ප්‍රමාණයක් පෞද්ගලික මුද්‍රණලවලට ලබාදීමෙන්  පැහැදිලි වන්නේ රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම  වෙනුවට තවදුරටත්  පෞද්ගලික අංශය සමඟ  ගනුදෙනු කරමින් වෙනත් කූට අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කරන බවටද ඔහු චෝදනා කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව සඳහා රුපියල් මිලියන 88ක් මේ වන විට වැය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාශය ප්‍රකාශ කර තිබියදී පාසල් පෙළ පොත් මුද්‍රණය මෙලෙස බාහිර පාර්ශ්වයන්ට ලබාදීම තුළ පැහැදිලි වන්නේ මුද්‍රණ නීතිගත සංස්ථාව අධ්‍යපන අමාත්‍යාශයට පැවැරීමේ අරමුණු ඉටු වී නොමැති බව යැයිද ඔහු පැවැසුවේය. මුද්‍රණ නීතිගත සංස්ථාව සංවර්ධනය කිරීමට කටයුතු කරන්නේ නම් සිදුකළ යුත්තේ පෙළ පොත් මුද්‍රණය සංස්ථාවෙන්ම සිදුකිරීම බවත් එසේ නොකොට අධ්‍යාපනයට වෙන් කරන සොච්චම් මුදලින් මූල්‍යමය ප්‍රතිපාදන මුද්‍රණ නීතිගත සංස්ථාවට වෙන් කිරීම බරපතළ අපරාධයක් බවත් ඔහු කියා සිටියේය. මේ දූෂිත තත්ත්වය පිළිබඳව ලංකා ගුරු සංගමය විසින් ජනාධිපතිවරයාට ලිඛිතව පැමිණිලි කළ බවද  ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

-උදයන්ති මුණසිංහ-