මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් ප‍්‍රදේශයට ඊයේ (30 දා) පෙරවරු 10.30 ට පමණ යතුරුපැදියකින් කඩාවැදුණු පාතාල සාමාජිකයන් දෙදෙනකු දෙනෝදාහක් දෙනා බලා සිටියදී හෙරොයින් ජාවාරම්කරුවකුට වෙඩි තබා මුළු ප‍්‍රදේශයම භීතියට පත්කර පලාගොස් ඇත.

මෙම වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ මොහොමඩ් හවුස්‌ නමැත්තා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මොහොමඩ් ෆවුස්‌ නමැත්තා කොල්ලකෑමක්‌ සම්බන්ධයෙන් අලුත්කඩේ අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිට ආපසු සිය නිවස බලා යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්‌වී ඇති බව

පොලිසිය පවසයි.

ෆවුස්‌ ගමන් ගත් ත්‍රිරෝද රථය පසුපස යතුරුපැදියෙන් පන්නාගෙන ආ පාතාල සාමාජිකයන් පිස්‌තෝලවලින් ඔහුට වෙඩි තබා ඇති බව පොලිසිය කියයි.

මොහොමඩ් ෆවුස්‌ නමැත්තා මාළිගාවත්ත පාතාලයේ ප්‍රබලයකු බව කියන "බයියා" ගේ ගෝලයකු බව විමර්ශනවලින් හෙළිවී ඇත. ෆවුස්‌ නමැත්තා මාළිගාවත්ත පාතාලයේ නායකයාව සිටි "මාමාස්‌මි" යන අයගේ කල්ලියේ ප්‍රබලයකු බවද පොලිසිය කියයි.

කොල්ලකෑම්, හෙරොයින් ජාවාරම් ඇතුළු අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් ෆවුස්‌ නමැත්තාට එරෙහිව චෝදනා එල්ල වී ඇත. මීට දින කිහිපයකට පෙර මාළිගාවත්තේ දී හෙරොයින් ජාවාරම්කාරියක්ද වෙඩි තබා ඝාතනය කර තිබිණි. මෙසේ ඝාතනයට ලක්‌වූයේ ඩුබායි දේශයේ සැඟවී සිටිමින් මෙරට පාතාලය හා හෙරොයින් ජාවාරම මෙහෙයවන තවත් අපරාධකරුවකු වන කංචිපාන ඉම්රාන් නමැත්තාගේ හිටපු බිරිඳ බව විමර්ශනවලින් හෙළිවිය. එම ඝාතනයත් මෙම වෙඩි තැබීමත් අතර කිසියම් සම්බන්ධයක්‌ ඇති බව පොලිසිය පවසයි.

කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස්‌ අධිකාරි නිශාන්ත සොයිසා මහතාගේ අධීක්‍ෂණයෙන් මේ පිළිබඳ විමර්ශන සිදු කෙරේ.

-හේමන්ත රන්දුණු-