මතුගම කටුගහහේන ප්‍රදේශයේ තේ වත්තක් අසලදී පෙරේදා (06දා) රාත්‍රි මුහුණු ආවරණය කරගෙන වෑන්  රථයකින් පැමිණි නාඳුනන පිරිසක් කළ පහරදීමකින් මෝටර් රථයක ගමන් ගත් පුද්ගලයන් තිදෙනකුගෙන් එක් අයකු මියගොස් අනෙක් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මතුගම පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ බදුරලිය කුරුලුබැද්ද පදිංචිව සිටි වීරකෝන්  මුදියන්ස්ලාගේ සුරංග කුමාර (40) නොහොත් බූරු සුරංග යන අයයි.

මියගිය පුද්ගලයා වෘත්තියෙන් මුදල් ඔට්ටුවට බූරුවා ගැසීමේ නිරත වන්නෙක් බව පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙම පුද්ගලයන් තිදෙනා පෙරේදා (06දා) දහවල් දෙකට පමණ කුලී මෝටර් රථයකින් මුදල් ඔට්ටුවට බූරුවා ගැසීමට ගොස් තිබූ බව අනාවරණය වූ බව පොලිසිය කියයි. එහිදී ඔහු රුපියල් ලක්ෂෙ දෙකහමාරක පමණ මුදල් ප්‍රමාණයක් බූරුවා ගසා දිනාගෙන ඇත. රාත්‍රී අටට පමණ තංගල්ලෙන් පිටත් වී නිවෙස කරා

ඒම සඳහා මතුගම යටදොල අලුත්ගම මාර්ගයේ පැමිණමින් සිටියදී කටුගහහේන පාළු ස්ථානයකදී මෝටර් රථය ගමන් කළ මාර්ගයට වෑන් රථයක් හරස් කර එයින් බැස පැමිණි නාඳුනන පුද්ගලයන් පස් දෙනකු තිදෙනාටම පහරදුන් බව තුවාල ලැබූ අය පොලිසියට කළ ප්‍රකාශයක සඳහන් වේ.

පහරදීමට පැමිණි පුද්ගලයන් මුහුණු ආවරණය කරගෙන සිටී බවත් ඔවුන් පහර දෙද්දී තමන් අසල තේ වත්තකට දිවගොස් දිවි බේරාගත් බවත් ඔවුන් පොලිසියට පවසා තිබිණි. තම මිතුරා කෑ ගසන ශබ්දය නිම වී විනාඩි විස්සකට පමණ පසු තේ වත්තෙන් පිටතට පැමිණ බලන විට සුරංග නමැත්තා බීම වැටී සිටි බවද පසුව කටුගහහේන රෝහලට රැගෙන ගියද එහි සිටි වෛද්‍යවරුන් ප්‍රතිකාර සඳහා භාර නොගත් හෙයින් වෑත්තෑව රෝහලට රැගෙන ගියද එහිදී වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා සුරංග මියගොස් ඇතැයි දැනුම් දුන් බව තුවාල ලද පුද්ගලයන් දෙදෙනාගේ ප්‍රකාශවල වැඩිදුරටත් සඳහන්ය.

තුවාල ලද එම පුද්ගලයන් දෙදෙනා වෑත්තෑව හා නාගොඩ රෝහල්වල ප්‍රතිකාර ලබන අතර එක් අයකුගේ අතකට ආබාධ වී  ඇති අතර අනෙක් පුද්ගලයගේ නළලට තුවාල වී ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවැසීය.මියගිය අයගේ ගෙලෙහි සීරිම් තුවාල දක්නට ඇතැයි පවසන පොලිසිය මෙම ඝාතනය ගෙල සිරකර වූවක් දැයි සැකයක් පවතින බව කියයි. බූරුවා ගැසීමෙන් දිනන ලද මුදල් පිළිබඳ කිසිදු තොරතුරක් නැතැයි පොලිස් නිලධාරියා වැඩිදුරවත් පැවැසීය.

ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර ගැනීමට සී.සී.ටී.වී. දර්ශන හා ජංගම දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ පුළුල් පරීක්ෂණ කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. මතුගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ. සේනාරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අයි.එම්.එස්. බණ්ඩාර මහතා පරීක්ෂණ පවත්වයි.

-එම්.සී.පෙරේරා-