එම පොතේ පිදුම සමග දක්වා තිබූ ඡායාරූපයේ ශ්‍රීනාත්ගේ පුතුගේ ගෙලෙහි කතෝලික බව හඟවන සංකේත
සහිත මාලයක් තිබීම ගැනත් සමාජ මාධ්‍ය තුළ වෙනම සංවාදයක් ඇරඹ තිබුණ අතර බොහෝ අය විවේචනය කර තිබුනේ එයට යෙදූ නම ගැනයි. පොතේ පීඩීඑෆ් කොපියක්ද අන්තර්ජාලය තුළ සැරිසරා තිබූ අතර ඒ ඔස්සේ පොත කියවූ අයගේ විවේචනය වූයේ එහි හරයක් සොයාගැනීම දුෂ්කර බවයි.
සැප්තැම්බර් සාහිත්‍ය මාසයට ඔන්න මෙන්න කියා තිබියදී ‘පොතක් මාකට් කිරීමට‘ මෙම නම යොදාගෙන ඇති බවට බොහෝ අය විවේචනය කර තිබෙන අතර එය සාර්ථක උපායක්වී ඇති බවටද මත පළව තිබේ.
කෙසේ වෙතත් බුදුහිමියන්ගේ ගෞරවය පොතක් විකුණා දැමීම වෙනුවෙන් අයථා භාවිතයට ගෙන තිබීම ගැන ඇතැමුන් අදහස් දක්වා ඇත්තේ කණගාටුවෙනි.
මෙම කථාබහට හේතුවූ කේ.කේ. ශ්‍රීනාත් චතුරංග සිය 'බුදුන්ගේ රස්තියාදුව' කෘතිය ගැන මේ ආකාරයට පවසා තිබේ.
මීට කලින් පොතකට කවුරුත් ඒ නම දාලා තිබුණ නෑ. මට අරමුණක් තියෙනවා මගේ පොතේ Plot එක සම්බන්ධව. පොතට මුල මැද අග සම්බන්ධයක් තියෙන්නෙ ඕන්නේ. ඒ සම්බන්ධය හොයාගෙන යද්දි මට තේරුණා මේකට ගැළපෙනම නම 'බුදුන්ගේ රස්තියාදුව' කියලා. අභිනිෂ්ක්‍රමණෙයයි රස්තියාදුවයි එකක් කියලා පොතේ සඳහන් වෙනවා.
එහෙම නම් ඇයි මේ පොත සිදුහත්ගේ රස්තියාදුව නොවුණේ?
රස්තියාදුව කියන වචනෙට තියෙන නිර්වචන අතිශය පෞද්ගලිකයි. අපි හැමෝටම එක එක විදියේ අදහස් තමා තියෙන්නේ. රස්තියාදුව කියලා මම අදහස් කරන්නේ නිශ්චිත අරමුණක් වෙනුවෙන් යෙදෙන එක. මේක රස්තියාදුකාරයා කියන තැනින් තම දරුණු වැඩියි. එක්තරා අවධියකදී ගෑනු ළමයි පවා රස්තියාදුකාරයා කියන බොහීමියානු චරිතයට ප්‍රේම කරනවා. බොහීමියානුවාගේ ධර්මතාව තමයි එක තැන නොරැදීම කියන කාරණය. ඔය කාරණා සියල්ල කලාත්මක අත්දැකීමක් ව්සියට, කලා කෘතියක් විදියට නිර්මාණය වෙද්දි මම තීරණය කළා 'බුදුන්ගේ රස්තියාදුව' කියන වචන දෙක කෘතියට යොදන්න.
බෞද්ධ සාහිත්‍යය සහ සෞන්දර්ය, ත්‍රිපිටකය, ත්‍රිපිටක විචාර වගේ සංකීර්ණ හැදෑරීම් ක්‍රම කෘතිය තුළ ඒ තරම් දෙයක් කතා කරලා නෑ. ඒ සියල්ලටම කලින් පොඩි කාලේ දහම් පාසලෙන් හරී ඉස්කෝලෙන් හරී අහන්න ලැබුණු බුදු දහම තමයි මගේ පොතේ වස්තුව. වෙන්නේ. ඒක කුඩා දරුවෙක් විතරක්ම වෙනුවෙන් නෙවෙයි මහා වැඩිහිටියෙක් නිර්මාණය කරන කියන දහමක්. ඒ දහමට තියෙන ආශාව ගැන තමයි මං කෘතියේ එන ගීතයෙන් කියන්න උත්සහ කළේ.
නිවන, බුද්ධත්වය ගැන අවබෝධයක් තියෙනවද?
නිවන කියන්නේ මොකක්ද කියලා කවුරුහරී මගෙන් අහනවා නම් කාටවත් එහෙම අහන්න බෑ. ඒක මෝඩ ප්‍රශ්නයක්. නිවන කියන එක හදාරන්නත් බෑ. ඒක අත්පත් කරෙගන ඕන දෙයක්. ඒ පිළිබඳව හැදෑරීම් තියෙනචා කියලා කියනවා නම් ඒවා තනිකර බොරු. නිවන අවබෝධ කරගන්න නම් අපි ඒක කරන්න ඕනේ. පුහුණු වෙන්න ඕනනේ. මම තවම ඒකට සූදානමක් නෑ.
බුදුන්ගේ රස්තියාදුව තුළින් කතා කරන්නේ බුදු දහම ගැන විතරද?
මේ ප්‍රබන්ධයක්. කෙනෙක්ට හිතෙන පුළුවන් මේක යථාර්ථවාදී නවකතාවක් කියලා. තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් අරුමැසිවාදී කෘතියක් කියලා. ඒ නිර්වචන ඕන තරම් එන්න පුළුවන්. මම කෘතිය ලියදි හිතුවෙ නෑ මේක ඉන්ද්‍රජාලිකද, යථාර්ථවාදීද, පශ්චාත් නූතනවාදීද, අරුමැසිවාදීද කියලා.
මගේ කල්පනය නිර්මාණශීලීව කලා කෘතියක් හැටියට කරන්න විතරයි මම උත්සාහ කළේ.
දැන් ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතන්නේ?
මං ඒ ගැන සෑහීමකට පත්වෙනවා. මොකද මට බනින්න හරි මේ පොත කියවන්න හැමෝම උත්සාහ කරනවා. ඒ තැනට, පොතක් කියවන තැනට සමාජය පත් කරන එක ලේසි වැඩක් නෙවෙයි. පොතක් කියවද්දි කියවන ඉරියව්වෙන් අපි හැමෝටම ඉන්න වෙනවා. හැම විදියකම කියවීම් තියෙන්න ඕනේ. මට මඩ ගහන අයත් ඉන්න ඕන්නේ. කුණුහරුපෙන් බනින අයත් ඉන්න ඕන්නේ. ඒ දේවල් තුළින් මේ සමාජයේම ඉඳන් පොතක් ලීව්වම ලැබෙන අත්දැකීම් ගැන ඉගෙන ගන්න පුළුවන්. සමහරවිට හෙට කවුරු හරි ඇවිත් මාව. මරලා දැම්මොත් ඒකෙනුත් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. මට බැරි වුණත් මට සිදුවුණු දේ ගැන අනිත් අයට හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන්.
ශ්‍රීනාත් බුදුගේ රස්තියාදුව' තුළින් පාඨකයාට යෝජනා කරන මූලිකම හරය මොකක්ද?
අපට කොහේ හරි වැරැදිලා තියෙනවා. එහෙම වැරැදිලා තියෙනවා කියලා දන්න එක අවබෝධයක් තමයි. හැබැයි ඒක විකාරයක්. ඔය අවුල ගැන අපි හැමෝටම තියෙන්නේ හැඟීම් මාත‍්‍රයක් විතරයි. ඒක හරියම මොකක්ද කියලා අපි දන්නෑ. විසබීජ විනාශ කරන්න ප්‍රතිදේහ නිකුත් වෙනවා වගේ මම ඒ වැරදුන තැන හොයාගෙන යන්න උත්සාහ කරනවා. මං හිතන්නවා සහ විශ්වාස කරනවා මට කොයි මොහොතේ හරී එතැනට ළඟාවෙන්න පුළුවන් වෙයි. කියලා.
සාකච්ඡාව - තිවංක විශ්වනාත් ජයසේකර
ඡායාරූපය - සෙහාන් කාවින්ද
Mawbima -යං