රජයේ මුදල් රුපියල් මිලියන 38ක් වැය කරමින් වීරකැටිය මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය සහ කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් නන්දසේන ගෝඨාභය
රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනකුට එරෙහිව බස්නාහිර පළාත් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඊයේ (24) නීතිපතිවරයා අධිචෝදනා ගොනු කළේය.
ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලය සතු මුදල් මේ ව්‍යාපෘතියට වැය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට

එරෙහිව අධිචෝදනා ගොනු කළ බව දිනමිණ කළ විමසීමක දී නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා තහවුරු කළේය.
නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ එවකට හිටපු සභාපති එල්. ප්‍රසාද් සිල්වා, සාමාන්‍යාධිකාරී බී. උදුලාවතී කමලදාස, අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් වන සුදම්මික ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, මහින්ද සාලිය, මල්ලිකා කුමාරි සේනාධීර අයවලුන්ට එරෙහිව මෙසේ අධිචෝදනා ගොනු කර තිබේ.
සාපරාධී විශ්වාසය කඩකිරීම, කුමන්ත්‍රණය කිරීම, අනුබල දීම යනාදී චෝදනා හතක් පිළිබඳ මොවුන්ට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබේ. නීතිපතිවරයා නීතිමය අධ්‍යයනය සිදුකර පරීක්ෂණ කළ වාර්තා අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා වෙතට ඉදිරිපත් කළ අතර අගවිනිසුරුවරයා නීතිපතිවරයා වෙත ලබා දුන් නියමයට අනුව විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකරනු ලැබීය.

මේ නඩුව සම්බන්ධයෙන් ලේඛන සහ නඩු භාණ්ඩ එකසියපහක් විගණන වාර්තාවක් සමඟ සාක්ෂිකරුවන් අසූවක් පමණ නීතිපතිවරයා ඉදිරිපත් කරයි. සාක්ෂිකරුවන් අතර දූෂණ වි‍රෝධී හඬ සංවිධානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ඇතුළුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රජයේ සැකකටයුතු ලේඛන පිළිබ රෙජිස්ට්‍රාර්වරයා, දකුණු පළාතේ රජයේ තක්සේරුකරු ද වෙති.
රහස් පොලිසිය මෙහි විමර්ශන සිදු කළේය.

කමනි අල්විස්