මන්නාරම සිට කොළඹට ප්‍රවාහනය කිරීමට සුදානම කොට තිබූ රුපියල් කෝටි එකහමාරක් වටිනා කේරළ ගංජා කිලෝ 132 ක් සමඟ පුද්ගලයෙක් පසුගිය 2 වනදා උදෑසන මන්නාරම උළුප්පුතුඩුවායි හිදී පරයන්හලකුලම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් කණ්ඩායමක විසින් අත්අඩංගුවට ගනු ලැබිය.
ඉන්දියාවේ සිට ධිවර බෝට්ටු මාර්ගයෙන් කේරළ ගංජා රැගෙනවිත් කොළඹට ප්‍රවාහනය කිරීමට සුදානම්
ජාවාරමිකරුවකු පිළිබද නාවික හමුදා බුද්ධි නිලධාරින්
වෙත ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවටගත් බව විශේෂ කාර්ය බළකාය පැවසීය.
වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරු විසින් කැලෑ ප්‍රදේශයක කේරළ ගංජා තොගය

සගවා තිබූ බවත් එහි තිබී කිලෝ දෙකකට වැඩි ප්‍රමාණයකින් යුත් කේරල ගංජා පාර්සල් 59 සොයාගත් බවත් පැවසීය. සැකකරු මන්නාරම සිට කොළඹට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන ප්‍රබලයකු බවට තොරතුරු අනාවරණය වූ බවද විශේෂ කාර්ය බළකාය පොලිසිය පැවසීය.
විශේෂ කාර්ය බළකාය වැඩිදුරටත් පැවසුයේ සැකකරු මන්නාරම සිට මාළු ප්‍රවාහනය සිදුකරන ලොරි රථයක අසුරා කොළඹ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වෙත ලබාදීමට මෙම කේරළ ගංජා රැගෙන යාමට සූදානම්ව සිටි බවට තොරතුරු අනාවරණය වූ බවයි. වැටලීම සිදුකරන අවස්ථාවේ ලොරිය පැමිණ නොතිබූ බවත් ප්‍රවාහනයට සුදානම් ලොරි රථය සොයා විමර්ශන සිදුකරන බවත් කීය.
කේරළ ගංජා තොගය 1 වනදා  රාත්‍රියේ මෙරටට ගෙන එන්නට ඇති බවට නිලධාරීහු සැකපළ කරති. අත්අඩංගුවටගත් සැකකරු මන්නාරම උපුතුඩුවායි ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ධීවරයෙකි.
සැකකරු හා අඩංගුවටගත් කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා මන්නාරම පොලිස් ස්ථානයට භාරදිමට නියමිතවම තිබුණි.

(මඩුකන්ද සිතුම් චතුරංග සහ වන්නි රොමේෂ් මධුෂංක)