කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරවලින් ඉවත් කරන අපද්‍රව්‍ය මාසයක පමණ කාලයක සිට රෝහල් භූමියෙන් ඉවත් කර නැතැයි එම රෝහල් සේවකයෝ  පැවසූහ.

 අදාළ අපද්‍රව්‍ය කොළඹ ජාතික රෝහලේ අපස්‌මාර ගොඩනැඟිල්ල පිටුපස ගොඩ ගසා තිබෙන බවත්, මෙයින් තමන්ගේ හා රෝගීන්ගේ සෞඛ්‍යයට ද දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බවත් එම සේවකයෝ කියා සිටියහ.

 මෙම අපද්‍රව්‍ය අතර මිනිස්‌ ශරීරවල කොටස්‌, පුළුන්, ගෝස්‌ එන්නත්, කටු වර්ග හා බ්ලේඩ් ආදිය අඩංගු බවත්, දෛනිකව මෙම අපද්‍රව්‍ය ආරක්‌ෂිතව රෝහල් භූමියෙන් ඉවත් කර ආරක්‌ෂිත ලෙස පුළුස්‌සා දැමීම සිදු කළ යුතු බවත් එම රෝහල් සේවකයෝ කියා සිටියහ.

 මෙම ගොඩගැසී තිබෙන අපද්‍රව්‍ය පෞද්ගලික

අංශයකට අයත් සමාගමක්‌ මගින් රැගෙන යන බවත්, ඔවුන් මෙම අපද්‍රව්‍ය ගැන වැඩි තැකීමක්‌ නොකරන බවත් රෝහල් සේවකයෝ කියති.

 අප මේ ගැටලුව ගැන කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂිකා වෛද්‍ය සමිද්දි සමරකෝන් මහත්මියගෙන් විමසා සිටියෙමු.

 "මේ සායනික අපද්‍රව්‍ය රැගෙන යන්නේ පෞද්ගලික සමාගමක්‌ මගින්. ඒ අයට මුදල් පවා ගෙවනවා. නමුත් මේ අපද්‍රව්‍ය එම සමාගම මගින් අරන් යන්නේ ටික ටික. ඒ අයගෙන් ඇහුවාම කියන්නේ අරන් යන අපද්‍රව්‍ය දාන්න තැනක්‌ නැහැ කියලයි. අපි මේ සායනික අපද්‍රව්‍ය වෙන වෙනම වෙන් කරලයි තියෙන්නේ. වෙලා තියෙන්නේ අදාළ සමාගම සායනික අපද්‍රව්‍ය රැගෙන නොයෑම. අපි මේ ගැන අදාළ සමාගමේ නිලධාරීන් සමග සාකච්ඡා කරනවා. ඒ අනුව අද කොහොම හරි මේ සායනික අපද්‍රව්‍ය ඉවත් කරන්න කටයුතු කරනවා. මේක අපේ වරදක්‌ නොවෙයි. අදාළ සමාගමට මුදල් ගෙවනවා නම් ඒ අය කුණු රැගෙන යා යුතුයි.