පොල්ගහවෙල හා රඹුක්කන අතර පිහිටි පනලිය දුම්රිය ස්ථානය අසලදී සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධව කොළඹ සිට රඹුක්කන දක්වා ධාවනය වූ දුම්රියේ රියැදුරු, රියැදුරු සහයක, ප්‍රධාන නියාමක, උප නියාමකවරයාගේ වැඩ තාවකාලිකව තහනම් කිරීමට දුම්රිය සාමාන්‍යධිකාරී එස්. එම්. අබේවික්‍රම මහතා 
පියවර ගෙන ඇත.  ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් මත දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා මෙම පියවර ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් සෙවීමට දුම්රිය සාමාන්‍යධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට ද

ප්‍රවාහන අමාත්‍යවරයා කටයුතු කර තිබේ.

මෙම අනතුරින් දුම්රිය මගීහු 32නෙකු පමණ තුවාල ලබා ඇති අතර කොළඹ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ නියාමක මැදිරියට සහ මැද මැදිරියට හානි සිදුවී තිබේ. පසුපසින් පැමිණි මහනුවර දුම්රියේ එන්ජිමට හානි සිදුව ඇත. අනතුර නිසා දුම්රිය දෙපාර්තමෙන්තුවට රුපියල් කෝටියකට වඩා වැඩි අලාභයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මේ වන විට කරන ලද පරීක්ෂණවලදී හෙළි වී තිබේ.මෙම අනතුරු පිළිබඳව ඊයේ (07) වන විට පුද්ගලයින් 20කගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගත් බව පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතා කළ විමසීමකදී සඳහන් කළේය.

මෙම අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින්  32ක් සිටි අතර පොල්ගහවෙල රෝහලේ 17ක්, රඹුක්කන රෝහලේ 12ක්, කෑගල්ල රෝහලේ 03ක් ඇතුළත් කර තිබුණි. මින් 8 ක්  කුරුණෑගල රෝහලට මාරු කර යවා ඇත. එහි එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ සීඝ්‍ර ග්‍රාමී දුම්රිය රඹුක්කන දුම්රිය ස්ථානය ආසන්නයේ කාර්මික දෝෂයකට ලක්ව මග ඇනඟිටින ලදී. එහිදී එම දුම්රිය භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියක් විසින් රඹුක්කන දක්වා තල්ලු කරගෙන ගොස් තිබේ.  එම අවස්ථාවේදී 4.35 කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රිය මේ හේතුවෙන් පනලිය, කොහිලපිටිය ප්‍රදේශයේ නවතා ලබාගෙන ඇත.  එසේ නවතා තිබූ දුම්රියේ කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය ගැටී තිබුණි. මෙහිදී මහනුවර දුම්රිය මැදිරි තුනක් පීලි පැනීමට ලක්ව තිබේ. දුම්රිය රියැදුරන් ඇතුළු කාර්ය මණ්ඩලයෙන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇ.ි බව පොලිසිය පවසයි.

-ශානිකා මාධවී පිරිස්-