පසුගිය පාලන කාලයේ සබරගමුව මහ සමන් දේවාලයේ අක්රමිකතා කිහිපයක් සිදුව ඇති බවට දේවාල ගම්වැසියකු වන රන්නහංගමුවේ උඩහ වලව්වේ පදිංචි ජේ.එම්.බී. බණ්ඩාර ජයසුන්දර මහතා කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් මේ වනවිට පරීක්ෂණ සිදුකරමින් පවතී. එම පැමිණිල්ලේ සඳහන් ප්රධානම කාරණය වන්නේ 2014 වසරේ හුණුවල දේවාලගම නමැති ඉඩමෙන් හමුවූ රුපියල් එකොළොකෝටි අනූ නව ලක්ෂ අසූපන්දහස් තුන්සිය හැටපහක (11,99,35,365) මුදලකට අලෙවි කළ මැණික් ගලකින් දේවාලේ බිම් පංගුව වූ රුපියල් අනූනව ලක්ෂ විසිදෙදහක (99,2,000) මුදලක් එවකට හිටපු බස්නායක නිලමේවරයා විසින් භාරගෙන කුවිතාන්සියක් එම මුදල ලබාදුන් එච්.ඩී. නන්ද කුමාර යන අයට දී ඇතත් එම මුදල දේවාලයේ ගිණුමට බැර කර නොමැති බවයි.
තවද ඒ මහතා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතට අනුව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගෙන්ද සිදුවී ඇතැයි කියන සිදුවීම් කිහිපයක තොරතුරු ඉල්ලා ඇති අතර ඒ අනුව එම තොරතුරුද මේ වනවිට ලැබී මේ සම්බන්ධව රත්නපුර දිස්ත්රික් බෙද්ධ කටයුතු සහකාර කොමසාරිස්වරයාගෙන් තොරතුරු විමසු අවස්ථාවේදී ඒ මහතා පවසා සිටියේ හිටපු බස්නායක නිලමේවරයාගෙන් මැණික් ගලක බිම් පංගුව ලෙස ලැබුණු රුපියල් 99,22,000ක මුදල දේවාල ගිණුමට බැර නොකිරීම සම්බන්ධව හේතු විමසු අවස්ථාවේ ඔහු පවසා සිටියේ එම මුදල් පෙරහැර කටයුතු වෙනුවෙන් වැය වූ බවයි.
ඒ පිළිබඳ ලිපි ලේඛන ඉදිරිපත් කරන ලෙස බස්නායක නිලමේවරයාට දැක්වූ අවස්ථාවේ ඔහු පැවැසුවේ 2017 ගංවතුරට හසුවීමෙන් එම ලියකියවිලි විනාශ වූ බවයි. එබැවින් මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරමින් පවතින බවද බෞද්ධ කටයුතු සහකාර කොමසාරිස්වරයා පැවැසීය. එහිදී බණ්ඩාර ජයසුන්දර මහතා පැවැසුවේ, හිටපු බස්නායක නිලමේවරයා විසින් ලිපි ලේඛන හිතාමතාම ගංවතුරට හසුවීමට ඉඩහැර තිබූ බවයි. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ පසුගිය වසරේ මැයි 26 වැනි දින ගංවතුර ගැලීම් සිදුවුයේ දහවල් කාලයේ බවත් ඒ අවස්ථාවේ එම
ස්ථානයේ රාජකාරී කළ පොලිස් නිලධාරියා මේ බව දන්වා ලිපි ලේඛන ඉවත් කළ යුතු බවට දක්වා සිට ඇති බවයි. ඒ නිසා මේ පිළිබඳවද සොයා බලන ලෙස ඔහු බෞද්ධ කටයුතු සහකාර කොමසාරිස්වරයාගෙන් ඉල්ලා ඇත.