වැලිකඩ බන්ධනගාරයේ රඳවා සිටි කාන්තා රැඳවූවෙකු හදිසියේ මියයාම සම්බන්ධයෙන් ගැටලු කාරී තත්වයක් ඇතිව තිබේ. මෙසේ මියගොස් ඇත්තේ මත්කුඩු වරදක් සම්බන්ධයෙන් සිරගතවූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ මාලි
නැමැත්තියකි.
මෙය පහරදීමක් නිසා

සිදුවූ බවට සැක නිසා වහාම පොලිස් පරික්ෂණයක් සිදු කළ යුතු බව සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුව පොලිසියට පැමිණිලි කර තිබේ.
මෙම කාන්තා රැඳවූවා මියගියේ ඊයේ (24) පස්වරුවේ වන අතර ඉකුත් දා වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව අවස්ථාවේ ඇයද ඊට සහභාගිවූ බව පැවසේ.
සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුවේ ශමිලා ලියනාරච්චි ගුවන් විදුලි නාලිකාවකට මේ ගැන මෙසේ පවසා තිබේ.
‘මම දැනුවත්ව නම් මෙම උද්ඝෝෂණ වලදි  60 ක් 70 ක් විතර ලේ පෙරාගෙන ගුටිකාගෙන වැටුණා ඒ අයගෙ බන්ධනාගාර මාරු කෙරුවා. ඒ මාරු කරපු නැති සමහරු මෙහි හිටියා. වැල්ලම්පිටියේ මාලි කියල කෙනෙක් මේ මැරිල තියෙන්නේ. ඇය මියගියේ පහරදීමක් නිසාද කියල සැකයක් තියනවා.‘
සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය පවසන්නේ  ඊයේ මියයාම සහ එහි මීට පෙර ඇතිවූ නොසන්සුන්තාව අතර සම්බන්ධතාවක් නොමැති බවයි.