වසර තුනක් පුරා එකම ගසක ගැටගසා තිබීමත්, කකුලට එක දිගට දමා තිබූ විලංගුවලට කැපීමත් හේතුවෙන් ඉදිරි දකුණු පාදයේ විශාල තුවාලයක් සිදුවීම නිසාත් දැඩි ලෙස රෝගාතුරව සිටි දෙවිනුවර ඓතිහාසික
උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ "කලණ" හස්තියා වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊයේ (02දා) දින අලුයම සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ රිදියගම "සෆාරි" උද්‍යානය වෙත රැගෙන යන ලදී.

"කලණ"ට සාධාරණයක් ඉටුකිරීමට මාධ්‍ය ඔස්සේ ගෙන ගිය ප්‍රචාරයත් සමඟ තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා වනජීවී නිලධාරීන්ද සමඟ පසුගිය දිනක "කලණ" බැලීමට පැමිණ පත්ව ඇති අසරණ තත්ත්වය පිළිබඳව ඉහළ නිලධාරීන්ට දැන්වීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිකාර සඳහා "කලණ" මෙලෙස සෆාරි උද්‍යානයට ඇතුළත් කර ඇත.


නිසි ලෙස රැකබලා නොගැනීමත්, විලංගු දම්වැල් කලට වේලාවට මාරු නොකිරීමත්, අපිරිසුදු ස්ථානයක තුවාල සහිතව සිටීමට සැලැස්වීමත් සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් හා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විසින් සත්ත්ව හිංසාව යටතේ ගන්දර පොලිසියට කරන ලද පැමිණිල්ල මත පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේවරයාගේ ලේකම් හා ඇත්ගොව්වා පසුගියදා (28දා) මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇති අතර ලබන 11දින යළි නඩුව කැඳවීමටද නියම විය. එදිනට "කලණ" පිළිබඳ පශු වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද අධිකරණය නියෝග කර ඇත.

"කලණ" සෆාරි උද්‍යානයට ඇතුළු කරන අවස්ථාවට තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාද පැමිණ සිටි අතර මින් ඉදිරියට යකඩ විලංගු වෙනුවට ආරක්ෂිත පලඳනාවක්ද යෙදවීමට සෆාරි උද්‍යාන නිලධාරීන් "කලණ"ගේ ඇත්ගොව්වා දැනුවත් කරන ලදී. නාවා පිරිසුදු කරන ලද "කලණ"ට වහා ප්‍රතිකාර ලබාදීමටද සෆාරි උද්‍යානයේ වෛද්‍ය නිලධාරීන් කටයුතු කරන ලදී.

දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 'කලණ' සහ 'ළස¼දා' යන අලින් දෙදෙනා සඳහා දේවාල භූමිය ඉදිරිපිට නිවහන් දෙකක් ඉදිකිරීම මේ දිනවල සිදුවෙමින් පවතී.
'කලණ' නමැති අලියාට පසුගිය කාලයේදී අත්විඳින්නට සිදුව තිබූ වේදනාකාරි තත්ත්වය මාධ්‍ය මඟින් පෙන්වා දීමෙන් පසු මෙම පියවර ගෙන ඇත.

ගන්දර - නිලූකා හේරත්,
කෝට්ටගොඩ _ ගුණතිලක කොඩිකාර