මහපොළ භාරකාර මණ්ඩලයේ හිමිකාරිත්වය යටතේ පැවැති මාලඹේ තොරතුරු තාක්‍ෂණ ආයතනය (ස්ලිට්) ඇපයෙන් සීමිත සමාගමක් වෙත කූට ලෙස පැවැරීම නිසා මේ වන විට එම තාක්‍ෂණ ආයතනය කිසිදු හිමිකාරිත්වයක් නොමැති ආයතනයක් බවට පත්ව ඇතැයි උසස් අධ්‍යාපන ඇමැති විජයදාස රාජපක්‍ෂ හෙළි කළේය.

මේ පැවැරීම දින 100 ආණ්ඩුව යටතේ එවකට ආහාර සුරක්‍ෂිතා ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ සමයේදී සිදුව ඇති බවද මහපොළ භාරකාරඅරමුදලේ සාමාජිකයන්ව කිසිදු දැනුවත් කිරීමකින් තොරව ආචාර්ය වික්‍රම වීරසූරිය ගත් තනි තීන්දුවක් අනුව ක්‍රියාත්මක වී ඇති බවද ඇමැතිවරයා අනාවරණය කළේය.


මේ හේතුවෙන් එම ආයතනයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන් 7000කගේ පමණ වගකීම භාර ගැනීමට වගකිව යුතු බලධාරියකු නොමැති වී ඇතැයිද ඔහු පැවැසුවේය.
මේ පැවැරීම පිළිබඳ තමා වෙත පවතින තොරතුරු අනුව අනාවරණය වී ඇත්තේ මහපොළේ කිසිම ලිපි ගොනුවක නොමැති කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට කැබිනට් අනුමැතියක් රහිතව මේ පැවැරීම සිදු කර ඇති බව යැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

මේ පැවැරීමත් සමඟම එම සීමිත සමාගමේ අධ්‍යක්‍ෂවරු කිහිපදෙනකු නම් සිය වැටුප් වැඩි කරගෙන ඇතැයිද ඔහු පැවැසුවේය.

සීමිත වගකීම් සහිත අධ්‍යක්‍ෂ මණ්ඩලයක් යටතට මේ ආයතනය පැවැරීම අවලංගු කරන ලෙස මේ වනවිට අමාත්‍ය මණ්ඩලයට තමාකැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇතැයිද එම ආයතනයට රජයේ වගකිව යුතු නිලධාරීන්ගෙන් සමන්විත භාරකාර මණ්ඩලයක් පත්කරන ලෙස එහි යෝජනා කර ඇතැයිද ඇමැතිවරයා පැවැසුවේය.

ඒ යටතේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය පිළිබඳ නිපුණතා සහිත පාලක මණ්ඩලයකින් මේ ආයතනය පවත්වා ගෙන යෑමටත් එහි කළමනාකාරීත්වය සමඟ එක්වී කටයුතු කරගෙන යෑමේ බලය භාරකාර මණ්ඩලයට පැවැරීමටත් යෝජනා කර ඇතැයි හෙතෙම පැවැසීය.

මේ ආයතනයෙන් ලැබෙන ලාභ සියල්ලම මහපොළ ශිෂ්‍යාධාර යටතේ පිරිනැමෙන ශිෂ්‍යත්ව වෙනුවෙන් වෙන් කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසුවේය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ පසුගියදා (31දා) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

හර්ෂනී අර්සකුලරත්න