ඩමක් සම්බන්ධයෙන් සහෝදරයන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක් බේරීමට මැදිවූ දෙදරු මවක් පිහි පහරකින් මියයාමේ අවාසනාවන්ත සිද්ධියක් තලංගම, හෝකන්දර, සිංහපුර ප්‍රදේශයෙන් වාර්තාවේ.
මෙම සිද්ධියට මුල්වූ ඉඩම හා ගෙය පුතුන් දෙදෙනාගේ මාපියන් වැඩිමල් පුත්‍රයාට ලියාදී තිබුණ එකක් වන අතර වැඩිමල් පුතු විවාහ වීමෙන් පසු
එහි පදිංචිවී සිට ඇත.ඒවෙද්දී එහි කොණක ලෑලි ගෙයක් සාදාගෙන මව ත් තනිකඩ බාල පුතුත් කාලයක් ජීවත්වී ඇත. ඔවුන්ගේ පියා කුලී රැකියා කරමින් තැන් තැන් වල දිවිගෙවන නිසා නිවසේ වැඩි කාලයක් සිටියේ නැති බවද පැවසේ.
මේ අතාරවාරයේ බාල පුතුද විවාහයක් කරගෙන තිබෙන අතර

විවාහයෙන් පසු ඔහු ඒ අසල කුලී නිවසක පදිංචියට ගොස් ඇත්තේ මව සමගිනි. නමුත් කාලයත් සමග ආර්ථික අගහිගකම් මතුව ඇති අතර කුලී ගෙවාගන්නට විදිහක් නැතිවීමෙන් පෙර වාසය කළ ලෑලිගෙයට යළි එන්නට මවත් ඔහුත් තීරණය කර තිබේ.
මේ කාලය වනවිට වැඩිමල් පුතුද ආර්ථික අපහසුතාවට ලක්ව ඇති නිසා ඔහු ඔහුට අයත් නිවස කුලියට දී අඩු වියදමක් දරන වෙනත් කුලී නිවසක පදිංචියට ගොස් තිබී ඇත. බාල පුතු ලෑලිගෙදරට එන්න සූදානම්වී පසුගිය 31 වනදා උදේ මව සමග පැමිණ අස්පස් කරමින් සිට තිබේ. මෙම ආරංචිය වැඩිමල් පුතුගේ නිවසේ දැන් පදිංචිව සිටින අය වැඩිමල් පුතුට දන්වා තිබෙන්නේ දුරකථනයෙනි.
ඝාතනයට ලක්වූ මව ආරවුලට මුල්වූ ඉඩම ශුද්ධ පවිත්‍ර කරමින් සිටියදී වැඩිමහල් පුතා පිරිසක් සමඟ එම ඉඩමට පැමිණ බාල සොයුරා සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති අතර ආරවුල දුරදිග යන බව දැනගත් මව දරු දෙදෙනා අතරට ගොස් ආරවුල බේරීමට යෑමේදී මෙම පිහිපහර වැදී ඇති බව පොලිසිය කියයි.

සිද්ධිය වන අවස්ථාවේ පුතුන් දෙදෙනාම සතුව පිහි තිබී ඇති අතර බරපතළ තුවාල ලද තිදරු මව ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි.මියගොස් ඇත්තේ තලංගම, හෝකන්දර, සිංහපුර පදිංචිව සිටි වලිමුණි කරුණාවතී (78) නමැති කාන්තාවකි.මෙම ආරවුලෙන් බාල පුතාගේ බිරිය හා වැඩිමහල් පුතා තුවාල ලබා රෝහල් ගත කර ඇත.
තුවාල ලද වැඩිමහල් පුතා පොලිස් ආරක්‍ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර බාල පුතුගේ බිරිය මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.
මියගිය තිදරු මවගේ පපු ප්‍රදේශයට පිහි පහර එල්ලවී ඇති අතර තුවාල ලද වැඩිමහල් පුතුගේ පපුවට මෙන්ම දකුණු අතට බරපතළ තුවාල සිදුවී ඇති අතර බාල පුතාගේ බිරියගේ අතකට තුවාල සිදුවී ඇත.
මේ වනවිට පුතුන් දෙදෙනා හා බෑනා කෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් බෑනා කෙනකු හා පිටස්තර පුද්ගලයන් කිහිපදෙනකුද අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

වාර්තාව - අයිරංගි එදිරිසිංහ