සෞඛ්‍ය ඇමැතිවරයා මිල අඩු කර ඇති බව කියන බෙහෙත්වල මිල අඩු කිරීමට සමගාමිව මිලෙන් අඩුව එන බෙහෙත්වල අවශ්‍ය ප්‍රමිතිය තිබෙනවාද? ඒ බෙහෙත්වලින් මිනිසුන්ගේ ලෙඩ හොඳ වෙනවාද කියා බැලිය
යුතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රජයේ රෝහල් බොහොමයකම අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් පවතින බවට නොරතුරු වාර්තා වී ඇතැයිද ඒ අනුව කොළඹ ජාතික රෝහල ඇතුළු සියලුම රෝහල්වලීන් ඒ පිළිබඳ සති දෙකක් ඇතුළත වර්තාවක් කැඳවා ඇතැයිද පවසන එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ , 

වාර්තාව ලැබුණු පසු සුවපති ඇමැතිගේ නිරුවත රටටම හෙළි කරනවා යැයි පැවැසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය අවිධිමත් අන්දමට බෙහෙත් මිල අඩු කර ඇතැයිද එසේ මිල අඩු කර ලබාගන්නා බෙහෙත් වර්ගවල ප්‍රමිතිය බලා ගැනීමට අවශ්‍ය රසායනාගාර පහසුකම් නොමැති වීම බරපතළ ප්‍රශ්නයක් යැයිද ලේකම්වරයා සඳහන් කළේය. චීන රජයේ ආධාර ඇතිව රසායනාගාරයක් ඇති කිරීමට යෝජනා වී තිබුණද මේ වන තෙක් එම රසායනාගාරය ඉදි කිරීමට පියවර ගෙන නැතැයි වෛද්‍ය හරීත අලුත්ගේ චෝදනා කළේය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය විනාශ කිරීමට රාජ්‍ය නොවන සංවිධානවල, අයත් කණ්ඩායමක් සෞඛ්‍ය ඇමැතිවරයා සමඟ එක්වී ක්‍රියා කරමින් සිටින බවත් සෞඛ්‍ය පද්ධතිය විනාශ වුවහොත් ඒකෙන් ප්‍රයෝජනයක් ගැනීමට අසල්වැසි රටවල් බලාගෙන සිටින බවත් වෛද්‍ය හරිත අලුත්ගේ අවධාරණය කළේය. සෞඛ්‍ය පද්ධතිය මේ වන විට දැඩි අවදානමකට ලක්ව තිබෙන බැවින් එය රාජ්‍ය නොවන සංවිධානවල ග්‍රහණයෙන් මුදා ගැනීමට මැදිහත් වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීම සඳහා සියලු වෛද්‍යවරුන්ගේ අස්සනින් ලිපියක් යොමු කිරීමට තීරණය කර ඇතැයි සඳහන් කළ වෛද්‍ය හරිත අලූත්ගේ එම ලිපියට අස්සන් ලබා ගැනීම අද (25දා)සිට කොළඹ ජාතික රෝහල ඇතුළු සියලුම ප්‍රධාන රෝහල්වලදී ආරම්භ කරන බවද සඳහන් කළේය.

-ජේ.ටී.ද.සිල්වා-