කොළඹ සුපිරි හෝටලයක විදේශීය යුවළක් නවාතැන් ගෙන සිටි කාමරයක දොර කඩා එහි ඇතුළුවීමට
උත්සාහ කළ බව කියන 32 හැවිරිදි

පුද්ගලයෙක් කොටුව පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබිය.
සිද්ධිය සිදුවූයේ පෙරේදා (21) රාත්‍රී 11.30ට පමණය. අත්අඩංගුවට ගත් සැකකරු බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු යැයි කොටුව පොලිසියේ නිලධාරියෙක් පැවැසීය. මොහු හොර රහසේ හෝටලයේ විදුලි සෝපානයට නැගී තුන්වැනි මහලට ගොස් එම මහලේ කාමරයක දොරට පහරදී එය කැඩීමට උත්සාහ කළ අවස්ථාවේ හෝටලයේ ආරක්ෂක නිලධාරින් විසින් ඔහු අල්ලාගෙන පොලිසියට දැනුම් දී ඇත.
ඒ අනුව කොටුව පොලිසියේ කණ්ඩායමක් එහි ගොස් සැකකරු අත්අඩංගුවට ගත්තේය.
කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ.ඩබ්ලිව්.ඒ. ගෆර් මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් වික්‍රමරත්න මහතාගේ මෙහෙයවීමෙන් සැකකරු සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව සිටියේය.

(ශ්‍රීනාත් ප්‍රසන්ත ජයසූරිය)