ඊයේ සවස සිදුවූ දේශපාලන පෙරළිය සමග අගමැති රනිල් ඉවත්කර නව අගමැති ලෙස මහින්දව පත්කිරීමට ජනපති මෛත්‍රීට කවර නීතිමය බලයක් පවතීද යන්න ගැන මේ වනවිට නීතී ක්ෂේත්‍ර තුළ විවිධ තර්ක මතුවෙමින් පවතී.

සිද්ධියෙන් පසු රනිල් පැවැත්වූ කතාවේදීද තමන්ව පාර්ලිමේන්තුව මගින්

මිස බලයෙන් ඉවත් කිරීමට හැකියාවක් ජනපතිට නැති බව නව ව්‍යවස්ථා සංශෝධන අනුව පැහැදිලිව දක්වා ඇතැයි රනිල් තර්ක කළ අතර ඔහු මාධ්‍යවේදීන් නැගූ කිසිදු ප්‍රශ්නයකදී ඒ ගැන සැකයක් ඇති බව පැවසුවේ නැත.
පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (2) ,(3) වගන්ති අනුව ජනාධිපතිවරයාට කිසිම ලෙසක අගමැතිවරයා ඉවත්කල නොහැකි බව පැහැදිලි කර තිබේ. එසේම 70 (1) වගන්තියට අනුව පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ ඉඩක්ද නොමැති බව පැවසේ. ‍
එම නිසා ජනාධිපතිවරයා අගමැතිවරයා ඉවත්කිරීමට භාවිතා කොට ඇති පදනම වනුයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්ම සමගම මුළු ආණ්ඩුවම අහෝසි වී අගමැති ධූරයද හිස්විය යන සාධකයකි.
මේ බව හිටපු ඇමති විමල් මාධ්‍ය ඉදිරියේ කළ ප්‍රකාශයෙන්ද තහවුරු විය.
 නමුත් මෙම තර්කයේ බොහොම අඩු ලුහුඩු කම් ඇති බව නිති විශාරදයින් අදහස් මතුකර තිබේ.. එසේම 46 (4) වගන්තියට අනුව අර්ථදක්වා ඇති ජාතික ආණ්ඩුව එහි පාර්ශව කරුවෙකු ඉවත්විම සමග පාර්ලිමේන්තු බහුතරය නැතිවී නොමැතිනම් ව්‍යවස්ථාවේ 42 (4) වගන්තියට අනුව අගමැති ධූරය තවදුරටත් නොවෙනස් පැවැත්වීමට ඉඩ ඇති බව දක්වා ඇත.
නීති විශාරදයින් දක්වන්නේ මෙම කාරනා මත ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට රනිල්ට හැකියාව ඇති බවත් ඔහුට එහි වාසි තිබෙන බවත්ය.