මෙය එක්තරා ප්‍රදේශයක සිදුවූ අපූරු සිදුවීමකි. ඔහු හා ඇය රජයේ රැකියාවල නිරතව සිටිති. ඔවුන් සිටින්නේ එකම දියණියකි. ඇය දාහත් වැනි වියේ පසුවේ නගරයේ ජනප්‍රිය පාසලකට යන්නීය. මවුපියන්ට
නොදැනෙන්නට ඇය නගරයේ කඩවසම් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගා ගත්තාය. කලක් යන විට මවුපියන්ට මේ පිළිබඳව දැන ගන්නට ලැබිණි. මවුපියෝ තම දියණියට අවවාද කරමින් ඉල්ලා සිටියේ අධ්‍යාපන කටයුතු අවසන් වන තෙක් ප්‍රේම සම්බන්ධතා පැවැත්වීම නුසුදුසු බවයි.
'හරි මම හොඳට ඉගෙන ගන්නම්' දියණිය මවුපියන්ට පොරොන්දු වූවාය. මෙසේ ටික දිනක් ගත වී ගියේය. දියණිය ඉතා හොඳට පාඩම් කටයුතු සිදු කරන අයුරු මවුපියන්ට දැකගත හැකි විය. "දුව දැන් හොඳට පාඩම් කරනවා. අපි කියන එක අහලා අරකත් නතර කරලා වගේ" මවුපියෝ සිතූහ. මේ අතර දිනක් සවස් යාමයේ දියණිය මවට පියාට හා ඇයට කිරි තේ කෝප්ප තුනක් සාදාගෙන සාලයට ආවාය. 'මේක තාත්තට, මේක අම්මාට, මේක මට' කියමින් කිරි තේ කෝප්ප බෙදා දුන්නාය. ගත වුයේ ටික වේලාවකි. මවට හා පියාට තද නිදිමතක් දැනුණි. ඉන්පසු සිදුවූයේ කුමක්ද යන්න ඔවුන්ට මතක නැත. දෙදෙනාටම හොදටම නින්ද ගොසිනි. ඔවුන්ට ඇහැරුණේ පසුදා එළිවන යාමේටය.
කලබලයෙන් අවදි වූ ඔවුහු තම දියණිය කොහේ දැයි සොයා බැලුහ. 'දෙවියෝ සාක්කි' අල්මාරියේ තිබුණු රත්රන් බඩුත් නැහැ. දුවත් නැහැ. දුවගේ ඇඳුම් ටිකත් නැහැ' මව කෑ ගැසුවාය. ඒ කෑ, ගැසුමට අහල පහළ අය නිවෙසට දුවගෙන ආවේ හොරෙක් හතුරෙක් ගෙට පැනලා දැයි බලන්නය. ඒ අතර මව තම ගෙල බැඳි රන් මාලය අත ගා බැලුවාය. 'දෙයියනේ මගේ මාලෙත් නැහැ' එචිට පියා තම අත පැලඳි මුදුව ගැන බැලුවාය. මගේ මුදදත් නැහැ."
තම දියණිය නගරයේ කඩවසම් තරුණයට රැවටී ඔහුගේ උපදෙස් මත පෙරදින නිදිපෙති කිහිපයක් කිරි තේ වලට කවලම් කර මව හා පියාට ද නින්ද ගිය පසු නිවසේ ෆුල් සුදදක් දමා තරුණයා සමග පැන ගොසිනි. ඌත් එක්ක පැනලා ගියාට කමක් නැහැ, ලේ කිරී කරලා පොවලා හදපු මගේ මාලෙත් දහදිය මහන්සියෙන් කන්න බොන්න දුන්නු තාත්තගේ මුද්දත් අරගෙන ගිය එක ගැනයි දුක' මවුපියෝ අසල්වාසීන්ට කීහ. 'තේ හදාගෙන අපට දෙනකොට අපි හිතුවේ දුව අපිට කීකරුව ඉන්නවා කියලා. ඒ බැලුවාම අනුන්ගේ කීම අහලා අපට වස විස වුණත් දෙන්න පුළුවන්නේ" මවුපියන්ට කියැවිණි.
-එස්.වීරවංශ-