"මම ඔලිම්පික් පදක්කමක් ලබලා අදට වසර 18ක් වෙනවා. මේ ක්‍රීඩාව ඉදිරියට ගෙනයන්න, ක්‍රීඩකක්‍රීඩිකාවන්ට මඟ පෙන්වන්න මට අවස්ථාවක් ලබාදුන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මේක තමයි මට රටේ ලැබුණු ලොකුම පිළිගැනීම. මේක තමයි අපේ ඔලිම්පික්. ඒ වගේම මේක තමයි රටේ ක්‍රීඩා උළෙල ක්‍රීඩා ඇමැතිතුමා අපි තරම් ක්‍රීඩා කරලා නැතිව ඇති. ඒත් අපිට වැඩිය බුද්ධියක් ක්‍රීඩා ඇමැතිතුමාට තියෙනවා. ඒ බුද්ධිය යොදාගෙන මේ වනවිට පිරිහී ගොස් තිබෙන මලල ක්‍රීඩාව ගොඩගනීවි කියලා විශ්වාසයක් මට තියෙනවා.
යැයි පැවැසූ සුසන්තිකා මහත්මිය තමන් අතීතයේදී මුහුණ දුන් දුක් ගැහැට සම්බන්ධයෙන්ද පැවැත්වූ සංවේදී කතාවට පැමිණ සිටි සියලු දෙනාගේම අවධානය යොමු වූ බවක් දක්නට ලැබිණි.
"මගේ අම්මා අවුරුදු ගණනාවක්ම කළේ රබර් කිරි කපපු එකයි. මට ඉස්කෝලේ ගෙනියන්න පොත් තිබුණේ නැහැ. පාසල් යන්න නිල ඇඳුම් තිබුණේ නැහැ. වැස්සදාට අපේ පොඩි ගෙදර තෙමෙනවා. එහෙම තෙමුනහම මම කැගැහැව්වම අම්මා කියනවා සද්ද නැතිව නිදගනින් කියලා. අපේ පවුලේ හත් දෙනකු හිටිය නිසා පාන් රාත්තල 7ට කපන්න අම්මට සිද්ධ වෙනවා. මගේ අම්මා අවුරුදු 5ක් මට කිරි දුන්නා. අදටත් මට හෙම්බිරිස්සාවක් හැදිලා නැහැ. පාසල් විවේක කාලයේදී අනෙක් ළමයි බත් කනවා. මම මොකුත් ගේන්නේ නැති නිසා එතැනින් නැගිටලා යනවා.
මම කවදාවත් ටයි එකක් බැඳලා ඉස්කෝලේ ගිහින් නැහැ. අද හරි මට වටිනාකමක් ලබා දුන්නාට ක්‍රීඩා ඇමැතිවරයාට ගොඩක් ස්තුතියි. අද මෙතන ඉන්න ධම්මිකා මිස් තමයි මට බස් එකේ යන්න සල්ලි දෙන්නේ" යැයි පැවසූ සුසන්තිකා දැඩි වේදනාවක් දැනුණ බැවින් ටික වේලාවක් නිශ්ශබ්දව සිට නැවතත් කතාව පටන් ගත්තාය.
"අද මට ජාත්‍යාත්තරය සමඟ ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. මට තැනක් ලැබෙනවා කියන්නේ මගෙන් පස්සේ පසුපෙළටත් තැනක් ලැබෙනවා කියන එකයි. කොහොම වුණත් අද මේ දරුවන්ට නිසි ඉලක්කයක් නැහැ. ඒකට හේතුව නිසි කළමනාකරණයක් නොමැතිකමයි. මේ දරුවන් හරි මඟට ගන්න පුළුවන් නිලධාරීන් පිරිසක් සොයාදෙන්න මට පුළුවන් අන්දමින් මම ඇපකැප වෙනවා" යැයි පැවැසූ සුසන්තිකා මහත්මිය මෙම ක්‍රීඩාව යළි ප්‍රතිසංස්කරණය කර දෙන මෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්ද කළාය.
-විචිත්‍ර වීරසිංහ-