කොටහේන ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරිමේ සිද්ධියකට අදාළව ශ්‍රී ලංකා නාවික හමුදාවේ දී ලුතිනන් කොමාන්ඩරවරයකු ඊයේ (24දා) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව
අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ එවකට වැලිසර නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශයට අනියුක්තව සේවය කළ බව කියන ලූතිනන් කොමාන්ඩර් සම්පත් දයානන්ද නැමැති නිලධාරියෙකි.

2008 වර්ෂයේදී කොටහේන ප්‍රදේශයේදී දෙමළ ජාතික තරුණයින් දෙදෙනෙකු

පැහැර ගෙන ගොස් අතුරුදහන් කරවීමේ සිද්ධියට අදාළව කරන විමර්ශන අනුව මොහුව අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ඔහු සාම්පූර් කදවුරේ බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියේය. මීට පෙරද මෙම සිද්ධියට අදාළව වැලිසර නාවික හමුදා රෝහලේ විධායක නිලධාරියකු වූ ලුතිනන් කොමාන්ඩර් අනිල් මාපා යන අයවද අත්අඩංගුවට ගෙන තිබූ අතර මේ වන විට ඔහු සිටින්නේ ඇප මතය. ඊයේ දින අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අද(25) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

-ශානිකා මාධවී පිරිස්-