මුලතිව් විලාන්කුලම් විද්‍යාලයේ සිසුන්ගේ දිවා ආහාරයට 19 දා ලබා දුන් බත් වල හූණන් දෙදෙනෙකු සිටීමත් සමගම එම ආහාර අනුභව කළ සිසුන් තිස් තුන් දෙනෙකු වමනය කිරීම නිසා රෝහල් ගත කොට තිබේ.

 මෙම හූණන් දෙදෙනා සිට ඇත්තේ බත් සමග සකසා තිබූ ව්‍යංජන භාජනයකය. මෙය දුටු විගස ළමුන් එක්කෙනා දෙන්නා බැගින් වමනය කරන්නට පටන් ගෙන ඇති අතර ඔවුන්ව වරින් වර රෝහල් ගත කොට තිබේ.

 මේ අනුව ළමයින් තිස් තුන් දෙනෙකු 19 දා සවස් වන විට

රෝහල් ගත කොට ඇති අතර ඉන් ළමයින් හය දෙනෙකු හැරෙන්නට අනෙක් සියළු දෙනා සවස් කාලයේදී රෝහලෙන් බැහැරව ගොස් ඇත.

 කෙසේ වෙතත් රෝහල් ගත කළ සිසුන් 33 දෙනාගෙන් එක් අයෙකුගේවත් තත්වය බරපතළ නොවන බව මුලතිව් රෝහලේ වෛද්‍යවරු කියා සිටියහ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන්ගේ දෙමව්පියන් මුලතිව් ප‍්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත පැමිණිලි කොට ඇති අතර එම පැමිණිල්ලට අනුව පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

උතුරේ රජයේ පාසල් වල සිසුන්ට ලෝක ආහාර වැඩ සටහන යටතේ දිවා ආහරය ලබාදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දෙන අතර ආහාර පිසීමට සිසුන්ගේ දෙමව්පියන් සහභාගි කරවා ගැනීමට ඇති අසීරූතාවය නිසා බොහෝ විදුහල්පතිවරුන් ආහාර පිසීමේ කටයුතු වෙනත් පිරිස් වෙත කොන්ත‍්‍රාත් පදනම මත ලබා දී තිබේ.

 මුලතිව් විලාන්කුලම විද්‍යාලයේ ආහාර පිසීමේ කටයුතුද සිදුකොට ඇත්තේ එවැනි කොන්ත‍්‍රාත් ක‍්‍රමයක් මතය.