සුගිය ඔක්තෝබර් 26 වනදා දක්වා පැවති එජාප-ශ්‍රිලනිප හවුල් ආණ්ඩුව යටතේ ක්‍රියාත්මකවූ ඉන්ධන මිල සූත්‍රය තවමත් ක්‍රියාත්මක වන බවත් එය නවතා නොදමා වෙනස් ලෙස කරගෙන යන ලෙස නව මුදල් ඇමති
හා අගමැති මහින්ද රාජපක්ෂ උපදෙස් දුන් බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (14) පැවැසීය.
නව රජය බලයට පත්වූ පසු ජනතාවට පීඩාවක්වූ ඉන්ධන මිල සූත්‍රය අහෝසි කර ඇති බවට පැතිරගිය ආරංචිය අසත්‍යයක් යයිද ඔහු පැහැදිලි කලේය.

     

“ඉන්ධන මිල සූත්‍රය අහෝසි කරලා නැහැ. එය වෙනත් ක්‍රමවේදයකට ක්‍රියාත්මක වෙනවා. කලින් සිදු වූ පරිදි මාස දෙකෙන් දෙකට මිල වෙනස් වෙන්නේ නැහැ. එහෙත් එය ක්‍රියාත්මක වෙනවා. අපි සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල අතර බැඳීමක් තිබෙනවා. ඉන්ධන මිල සූත්‍රය සකසන ලද්දේ පිරිවැය පැවරීමේ ප්‍රතිපත්ති රාමුව මතයි. විවිධ ආණ්ඩුවල විවිධ ප්‍රතිපත්ති තියෙනවා.
එකිනෙකට වෙනස් ප්‍රතිපත්ති තිබෙනවා. අදාළ වෙනස්කම් කළත් පිරිවැය පැවරීමේ ප්‍රතිපත්ති රාමුව මත ඉන්ධන මිල සූත්‍රය පවත්වාගෙන යා යුතුය යන්න අපේ අදහසයි.
සහන පැකේජයෙන් ආර්ථිකයට ලොකු බලපෑමක් වුණේ නැහැ. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.03ක් පමණයි. කෙසේ නමුත් එකතු කළ අගය මත බද්ද, රඳවා ගැනීමේ බද්ද යනාදිය පාර්ලිමේන්තුවේ පනත්වලින් තමයි වෙනස් කරන්න ඕනේ. ඒවා සිදු වන්නේ ලබන අවුරුද්දේ”.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇගයීම් වාර්තාවක් ඉදිරිපත්කර ස්වයංක්‍රීය ඉන්ධන මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ යුතු යැයි පසුගිය වසරේ අගෝස්තු මාසයේදී  පෙන්වා දී ඇති අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉන්ධන මිල සූත්‍රයක් ඉදිරිපත් කළේ ඒ අනුවයි.