මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීෙවරයා පමණක් බවත් ඔහුට අගමැති ධූරය දැරීය නොහැකි බවත් ක්වෝවොරොන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි එක්සත් ජාතික පක්ෂය, ජනතා
විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම ලබන 30 දා හා 03 දා සලකා බැලීමට අභියාචනාධිකරණය අද තීන්දු කළේය.

එම පක්ෂ තුනේ මන්ත්‍රීවරුන් 122කගේ අත්සන් සහිතව මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබිණ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල හමුවේ අද පෙත්සම් විභාගයට ගැනිණ.

එහිදී සියලුම වගඋත්තරකුවන් වෙනුවෙන් නොතීසි නිකුත් කර නොමැති හෙයින් පෙත්සම නැවතත් සිකුරාදා හා එළැඹෙන සඳුදා දිනයේදී කැඳවීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී අදාළ පාර්ශ්ව වෙත නොතීසි නිකුත් කිරීමට නියමිතය.

මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය වරුන් ලෙස පෙනී සිටින 49 දෙනෙකු අදාළ පෙත්සම මගින් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.