https://www.gossiplankanews.com/2018/12/28-new-ministers.html#more
නපති මෛත්‍රිපාල සිරිසේන හෙට (20) රාත්‍රී විදෙස්ගතවීමට නියමිත හෙයින් ඊට පෙර හෙට උදෑසනින්ම නව රජයේ කැබිනට් මන්ඩලය දිවුරුම් දෙන්නට නියමිත බව අලුත්ම දේශපාලන ආරංචි වාර්තා කරයි.
ඒ අනුව හෙට උදේ 8.30 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඇමතිවරුන් 28 ක් දිවුරුම් දෙන බව වාර්තාවේ. නව අමාත්‍ය මණ්ඩලය යටතේ මංගල සමරවීර මහතාට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරය ද, රවී කරුණානායක මහතාට විදුලිබල හා බල ශක්ති අමාත්‍ය ධුරය ද, සාගල රත්නායක
මහතාට වරාය හා නාවුක අමාත්‍ය ධුරය ද, චම්පික රණවක මහතාට මහා නගර හා බස්නාහිර අමාත්‍ය ධුරයද, රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ද  හිමිවනු ඇතැයි වාර්තාවේ.
ඇමති ධූර ලබාදෙන ලෙස ජනපතිට යෝජනා කරන ලද ලැයිස්තුවේ 36 ක් නම් තිබුණ බවත් ශ්‍රීලනිපයෙන්

එජාපයේ සහය පිණිස ආ මන්ත්‍රීවරුන් 4 දෙනෙකු වන ලක්ෂ්මන් සෙනවිරත්න, විජිත් විජිතමුණි ද සොයිසා, පියසේන ගමගේ සහ එච් එම් ෆවුසි යන අයගේ නම් තිබුණ බවත් වාර්තාවූ නමුත් ඒවාට ජනපතිගේ අනුමැතිය හිමිවී නැත.

ඊට අමතරව එජාපය යෝජනා කළ සරත් ෆොන්සේකා සහ පාලිත රංගේ බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ගේ නම්ද ජනපති කපාදමා තිබේ.
ඇමතිවරුන් පත්කිරීම ගැන එජාපය හා මෛත්‍රි ජනපති අතර දිගින් දිගටම ගැටලු පැවති අතර එය හෙට (20) දක්වා කල්ගියේද මේ නිසාය.

යෝජිත මන්ත්‍රීවරුන් 36 දෙනොගේ නම් ලැයිස්තුව අද (19) පස්වරුවේ යවනු ලැබූ පසු රටේ අකර්මන්‍යතාව ඉක්මනින් විසඳාලීමට ඇති අවශ්‍යතාවත් ජනපති හෙට පස්වරුවේ විදෙස්ගතවීමත් මුල් කරගෙන උදෑසනින්ම ඇමතිවරුන් පත්කිරීමට යොමු විය.

පැවති ජාතික ආණ්ඩුවේ මුදල් ඇමැතිධූරයෙන් ඉවත් වූ රවි කරුණානායකට යලි මුදල් ඇමති ධූරය දෙන්නට අගමැති රනිල් යෝජනා කළද ජනපති කැමතිවී නැත. ඒ වෙනුවට එම තනතුර මංගලට දී රවීව විදුලි බල ඇමති කරන්නට යෝජනා වී ඇත.
තමා ඝාතන ප්‍රයත්නයට සම්බන්ධ බවට මෛත්‍රී ජනපති චෝදනා කරන ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමග එකට කැබිනට්

මණ්ඩලයේ වැඩකරන්නට නොහැකි බවද ජනපති පවසා ඇත.  අගමැති මාරුව සිදු කළ ඔක්තෝබර් 26 ට ආසන්න කාලයේ ෆොන්සේකා මාධ්‍ය ඉදිරියේ 'ජනපති පිස්සෙක්' ලෙස හඳුන්වා තිබීම ගැනද ජනපතිවරයාගේ සිත් රිදී තිබුණි. ඒ අනුව සරත් ෆොන්සේකාට කිසිදු කැබිනට් ඇමති තනතුරක් නොදෙන ලෙස ජනපති දන්වා ඇත.

නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ හෙට (20) උදේ දිවුරුම් දෙද්දී ඇමැතිවරුන් සඳහා පැවරෙන විෂය පථයන් ඇතුළත් දළ ලැයිස්තුවක් ද මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය සමඟ ප්‍රසිද්ධ කෙරෙනු ඇතැයි වාර්තාවේ.

ජනාධිපතිවරයාගේ විෂයන් යටතට නීතිය හා සාමය අමාත්‍යංශයට අයත්ව තිබූ  ශ්‍රී ලංකා පොලීසිය හා ජනමාධ්‍ය අමාත්‍යංශයට අයත්ව තිබූ ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව හා ලේක් හවුස් ආයතනය පවරා ගෙන ඇති බවද වාර්තා වෙයි.