පෙරහරේ මා අසලින් ගමන් කළ අලියා එකවරම ඇත්ගොව්වා හොඩවලෙන් අල්ලාගෙන බිම ගසා පෑගුවා. එවිට පෙරහැරේ ගමන් කළ සියලුම ලදහා සී සී කඩ දිව්වා යැයි ඇත්ගොවේවාගේ මරණය සම්බන්ධයෙන්
පැවතී මරණ පරීක්‍ෂණය ඉදිරියේ සාක්කි උදමින් මිටියාගොඩ පොලිසියේ පොලිස් කොස්තාපල් ප්‍රේමරත්නලාගේ සිතුම් ශ්‍රී ලාල් ප්‍රේමරත්න මහතා (22) කීය.
මෙසේ මියගොස් ඇත්තේ රිදීගම නෙල්ලිගල්කන්ද පදිංචි සියඹලාගහ ගෙදර තිලකරත්න (43) නමැති දෙදරු පියෙකි. . බලපිටිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ජේ.ඩබලිව්.එන්.අයි.එස්. ප්‍රනාන්දු මහත්මිය පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූවාය.
කරන්දෙණිය පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත ඇල්ගිරියගේ මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් අජිත් කුමාර මහතා සාක්ෂි මෙහෙයවිය.
සාක්ෂිකරු මෙසේද කීය,
පෙරහරේ ගමන් කළ සියලු දෙනා සී සී කඩ දිව ගියා. පෙරහරේ ගමන් කරන විට කිසිම ආයුධයක් ගෙන යන්න අපට දෙන්නේ නැහැ. මේ අවස්ථාවේ අලියා කෝප වී සිටි නිසා මියගිය අයගේ සිරුර ගැනීමට අපහසු වුණා. පසුව නිර්වින්දන ලබා දී අලියා මෙල්ල කොට ගස් බැඳීමෙන් පසු තුවාලකරු රෝහලට අරගෙන ගියා.
මියගිය අයගේ බිරිය වන අලුත්ගෙදර සසිකලා ඉන්දුමතී (40) මෙසේ කීවාය.
මගේ සැමියා රස්සාව ලෙස කළේ අලි බැලීමයි. අපිට පුතාලා දෙන්නෙක් ඉන්නවා. දෙන්නාම රෝගී තත්වයක ඉන්නේ.
එක්කෙනෙක් අවුරුදු දාහතරයි. අනෙක් එකෙනා අවුරුදු විස්සයි. අපිට ඉන්න හිටින්නට හරිහමන් ගෙයක් දොරත් නැහැ. සැමියාට පහර දුන්නු අලියා බලන්න ඔහු ගිහිල්ලා මාස තුනයි. මේ අලියා ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි කෙනෙකුයි කලින් බැලුවේ දඹදෙනිය ප්‍රදේශයේ අලියක්. ඉකුත් 23 වැනිදා රාත්‍රී හතට විතර මට සැමියා දුරකතන ඇමතුමක් දීලා කිව්වා අලියා අරන් පෙරහරකට යනවා කියලා.
24 වැනිදා උදේ මගේ නංගී දුරකතන ඇමතුමක් දීලා මට කිව්වා සැමියාට හදිසියේම බඩේ අමාරුවක් හැදිලා බලපිටිය රෝහලේ නතර කළා කියලා. එයා බලන්න ඒ අය යනවා කිව්වා. මට එන්නත් එපා කියල කිව්වා. ඒත් මම කිවා මමත් එක්ක යන්න එන්න කියලා.
අපේ ගෙදර ආපු අපේ නෑදයන් සහ අසල්වැසියන් ගෙදර බඩු මුට්ටු අස්පස් කරන්න ගත්තාම මට ලොකු අමුත්තක් දැනුනා.
මම නංගිලාත් එක්ක වෑන් රථයකින් බලපිටිය ඉස්පිරිතාලෙට ආවේ බඩේ අමාරුවට බෙහෙත් ගන්න නතර කළා යැයි සිය සැමියා බලන්නයි. ඒත් දෙයියනේ ඔහු බලාගත්තු අලියා පහරදීලා සැමියා මැරිලා කියලා බලපිටිය රෝහලට ආවම දැනගන්න ලැබුණා.
සැමියා අලියා අරන් ඇවිත් තිබුණ කරන්දෙණියේ පෙරහරකට කියලා දැනගන හිටියේ නැහැ. මෙහේ ආවමයි දැනගත් සැමියා කරන්දෙනියේ පන්සලක දේවාලයක් මගින් සංවිධානය කෙරුණු පෙරහරකට ඔහු බැලු අලියා අරන් ඇවිත් කියලා.
මගේ සැමියා තමන් බැලූ අලින්ට බොහොම ආදරෙන් සැලකු කෙනෙක්. එහෙම කෙනෙකුට අලියා පහරදීලා මැරුවේ ඇයි කියන එක හිතාගන්නවත් අමාරුයි. මම දන්න තරමට ඔහු රහමෙර බීමට ඇබ්බැහි වූ කෙනෙක් නම් නොවෙයි.
මියගිය ඇත්ගොව්වාගේ සොහොයුරකු වන එස්.ඒ. රත්නපාල නමැත්තාද මෙහිදී සාක්ෂි දුන්නේය.
මෙය අලියකු පහරදී හිසට හා සිරුරට සිදු වූ බහුවිධ තුවාලවලින් සිදුවූ හදිසි මරණයක් බවට මරණ පරික්ෂකවරයා තීන්දු කළේය.
-එම්. සුසිල් ප්‍රියන්ත සහ එස්.ඒ.වයි. ද සිල්වා-