සෞන්දර්ය ක්ෂේත‍්‍රයෙන් ඉදිරියට යාම තම එකම සිහිනය කරගත් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ප‍්‍රබෝධි ළහිරුණි සිසුවියගේ අහිංසක අපේක්ෂාවක් ඊයේ (18) ජනාධිපතිවරයා ඉටු කර දුන්නේය.
උසස් පෙළ විභාගය හදාරා සෞන්දර්ය විද්‍යාපීඨයට ඇතුළත්ව එම අංශයෙන් ඉදිරියටම යාම ප‍්‍රබෝධි ළහිරුණි සිසුවියගේ අපේක්ෂාව වන අතර, ඒ වෙනුවෙන් සංගීතය තෝරාගත් ළහිරුණි සිය ප‍්‍රධාන වාදන භාණ්ඩය ලෙස සිතාරය තෝරා ගෙන තිබුණි.
ඉකුත් දෙසැම්බර් 08 වනදා ජනාධිපතිතුමා පොළොන්නරුව, ගණන්ගොල්ල ප‍්‍රදේශයේදී ශාලික ලක්ෂාන් සිසුවාට නව නිවසක් ලබාදී යන ගමනේදී නිවසින් නික්ම යන ජනාධිපතිතුමා අසලට ප‍්‍රබෝධි ළහිරුණි දැරිය ද සමීප වූ බව පැවසිණි. දැරියගේ ඉල්ලීමට ඇහුම්කන් දුන් ජනාධිපතිතුමා එම ඉල්ලීම කඩිනමින් ඉටුකර දෙන බවට එහි දී දැරියට ජනපති සහතික වූ බව කියැවේ.
දින කිහිපයක් ඉක්ම යාමට මත්තෙන් දැරියගේ ඉල්ලීම ඉටුකරදීමට ජනාධිපතිතුමා කටයුතු කළ අතර, ඊයේ පෙරවරුවේ සිය දෙමාපියන් සමග ජනාධිපති කාර්යාලයට පැමිණි ප‍්‍රබෝධි ළහිරුණි තම සිතාරය ජනාධිපතිතුමා අතින් ලබා ගත්තාය.