යාපනය, ඉලවාලෙයි පත්තාවත්ත ප‍්‍රදේශයේ නිවසක් කොල්ලකා අදාළ නිවසේ සිටි 17 හැවිරිදි දැරියක් සමූහ වශයෙන් අපයෝජනයට ලක් කළ සිදුවීමක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනකු 27 දා ඉලවාලෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පැවසුවේ නිවස කොල්ලකෑම හා දැරිය අපයෝජනය සිදුකිරීමට ඍජුව සම්බන්ධ වී ඇති තරුණයන් වන යාපනය තෙල්ලිපලෙයි ප‍්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයකු හා යාපනය ඉලවාලෙයි ප‍්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

නිවස කොල්ලකෑම වෙනුවෙන් උපකාර කළ බව කියන තවත් පුද්ගලයකු හා නිවස කොල්ලකා ලබාගත් රත්රන් ජාවාරමට සම්බන්ධ තවත් කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය පැවසීය.

පොලිසිය පැවසුවේ සැකකරුවන් පසුගිය 19 වැනිදා සිද්ධිය සිදුකොට ඇති අතර පොලිසිය වෙත ලද තොරතුරක් මත සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රඳවාගෙන ප‍්‍රශ්න කළ බවයි.

සැකකරුවන් මල්ලාකම් මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ඉලවාලෙයි පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.

දිනසේන රතුගමගේ