ඉන්දියානු ණය ආධාර යටතේ ශ්‍රී ලංකා දුම්රිය සේවය මිලදී ගත් නවීන පහසුකම්වලින් යුත් සුබෝපභෝගී එස්. 13 වර්ගයේ ද්විත්ව බලවේග කට්ටල දුම්රිය උත්තර දේවි දුම්රිය ලෙස කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය ආරම්භ කිරීම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග සහ එම රාජ්‍ය අමාත්‍ය
අශෝක් අබේසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (25දා) පෙරවරු 6ට කොටුව දුම්රිය ස්ථානයේදී සිදු කෙරේ.

මැදිරි හයකින් යුත් මෙම උත්තරදේවි ශීඝ්‍රගාමී දුම්රියේ වායු සමනය කළ පළමු වැනි පන්නියේ ආසන 52ක මැදිරියක්, වායු  සමනය කළ ආසන 64කින් යුත් දෙවැනි පත්තියේ මැදිරීයක් සහ ආසන 152 බැගින් වූ තුන්වැනි පන්තියේ මැදිරි හතරක්ද වෙයි. මෙම දුම්රියේ මගීන්ට සුබෝපභෝගී ආසන, නවීන පහසුකම්වලින් යුත් වැසිකිළි, පී.පී. එස්. තාක්‍ෂණය ඔස්සේ තමන්ට බැසීමට අවශ්‍ය වන දුම්රිය ස්ථානයට ප්‍රවේශවන වේලාවන් ඇතුළු පහසුකම් රැසක් හිමිවෙයි.
27 වැනි දින පෙරවරු 6ට නිල වශයෙන් ගමන් අරඹන උත්තරදේවි විශේෂ දුම්රිය කිලිනොච්චිය හා යාපනය දුම්රිය ස්ථානයේ පමණක් නවත්වනු ලබන අතර ඒ වෙනුවෙන් නිකුත් කෙරෙන සීමිත ප්‍රවේශ පත්‍ර උපයෝගි කරගෙන ජනතාවට කිලිනොච්චිය, යාපනය හා කන්කසන්තුරේ බලා ගමන් කළ හැකිවෙයි.

ළමුන් සඳහා පාසල් බෑග්, පොත්පත් ඇතුළු පාසල් උපකරණ පිරිනැමීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර ඇතැයි දුම්රිය  සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඩිලන්ත ප්‍රනාන්දු  මහතා සඳහන් කරයි. මෙම සමාජ සත්කාරය සඳහා එක්වීමට කැමැති ජනතාවට තම පරිත්‍යාගයන් හෙට (26දා) දහවල් 12ට පෙර මරදාන ඩී.ආර්. විජයවර්ධන මාවතේ  පිහිටි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට හෝ නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා ගමනාගමනට මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට හෝ භාරදිය හැකිය. 0718426828 - රේණුකා හෝ 077-1056052 - ඉන්දික ඇමැතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

යාපනය විශ්වවිද්‍යාල සිසුන්ගේ පහසුව  සඳහා ඉදිකරන ලද 'අරවියල් නගර්' උප දුම්රිය ස්ථානයද එදින අමාත්‍යවරයා අතින් විවෘත කිරීමට නියමිතය. 28 වැනි දින සිට උත්තරදේවි සුබෝපභෝගි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය දිනපතා දහවල් 11.50ට කොළඹ කොටුවෙන් පිටත්ව ගම්පහ, පොල්ගහවෙල, කුරුණෑගල, මහව, ගල්ගමුව, අනුරාධපුර, මැදවච්චිය, වවුනියාව, මාන්කුලම්, කිලිනොච්චි, පලෙයි, කොඩිකාමම් යාපනය යන දුම්රිය ස්ථානවල නවත්වනු ලබන අතර එතැන් සිට කන්කසන්තුරය දක්වා සියලූම දුම්රිය ස්ථානවල නවත්වනු ලබයි. උත්තර දේවි සමාරම්භක චාරිකාවට ඉන්දීය මහ කොමසාරිස් රංජිත් සිං සන්දු, අමාත්‍යාංශ ලේකම් එල්.පී. ජයම්පති, දුම්රිය සාමානධිකාරී එම්.ජේ. ඩිලන්ත ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් සහභාගි වෙති.

-උපතිස්ස පෙරේරා-