රෝගී කුඩා දරුවකුගේ හදිසි ශල්‍යයකර්මයක් සඳහා යැයි ව්‍යාජ ටිකට්පත් ලබාදී ජනතාවගෙන් වංචනික ලෙස මුදල් එකතු කළ කාත්තාවන් තිදෙනකු ඇතුළු පස් දෙනකු වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දෙක බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මතුගම ප්‍රධාන මහෙස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙණිය මහත්මිය පසුගියදා නියෝග කළාය.

කොරතොට නවගමුව පදිංචි ජේ. නදීකා ප්‍රියංගනී, දෙල්ගොඩ සියඹලාපේ පදිංචි පී.ඩී. ප්‍රියංගිකා, මුල්ලේරියාව, කැලණිනදී මාවත පදිංචි දයානි මංගලිකා කහවත්ත, බුත්ගිරිය පදිංචි ඩබ්ලිව් ගුණසේන සහ කුරුවිට, හංසගම පදිංචි සුජිත් ආරච්චිගේ යන සැකකාරියන් තිදෙනා හා සැකකරුවන් දෙදෙනාට
මෙසේ ඇප නියම විය. කඩුවෙල අතුරුගිරිය ප‍්‍රදේශයේ තෙහැවිරිදි දැරියකට හදිසි ශල්‍යකර්මයක් සඳහා අවශ්‍ය වන  විශාල මුදල සඳහා යැයි කියමින් මතුගම නගරයේ ආධාර  පත්‍ර ලබා දෙමින් ජනතාවගෙන් මුදල් එකතු කරමින් සිටියදී ප්‍රෙද්ශවාසියකු ලබාදුන් තොරතුරක් මත මොවුන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කර තිබිණි.

වැඩිදුරටත් සොයා බැලීමේදී හෙළි වී ඇත්තේ ඡායාරූප සහ විස්තරවල සඳහන් කුඩා දැරිය මේ වනවිට 16 හැවිරිදි බවයි. ජනතාව නොමග යවමින් අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින්, ජනතාවට හිරිහැර වන ආකාරයට වංචනිකව මුදල් එකතු කිරීමේ චෝදනා යටතේ මොවුන්ට එරහි නඩු පවරා තිබිණි. ඒ අනුව මසක පමණ කාලයක් රිමාන්ඩ් ගත කර තබා අවශ්‍ය තොරතුරු සොයාගැනීමෙන් පසු පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

මතුගම මූලස්ථාන පොලිසියේ පොලිස් සැරයන් ජයතිලක මහතා අධිකරණයට කරුණු වාර්තා කළේය. ඇපකරුවන් දෙදෙනාගෙන් එක් අයකු මතුගම අධිකරණ බල ප්‍රදේශයේ ස්ථිර පදිංචි අයකු හා අනෙක් ඇපකරූ සැකකරුවන් පදිංචි ප්‍රදේශයක අයකු විය යුතු බවටද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය. පෙබරවාරි 20 වැනිදා යළි සැකකරුවන් අධිකරණයේ පෙනී සිටිය යුතු අතර වැඩිදුර විභාගය එදිනට පැවැත්වීමට නියමිතය.

-වසන්ත කුමාර-