හෝමාගම නගරයේ රන්බඩු ආයතනයක හිමිකරු ඝාතනය කිරීමට එම ආයතනයේ සේවකයකු හිමිකරුගේ වතුර වීදුරුවට වස දැමීම හේතුවෙන් එම වතුර වීදුරුව ඔහුගේ මිතුරකුද පානය කිරීමෙන් දෙදෙනාම අසාධ්‍ය වී ඉකුත් 17 වැනිදා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබිණි. එම මිතුරා 20දා උදෑසන මියගොස් ඇති
අතර ආයතනයේ හිමිකරු ප්‍රතිකාර ලබයි. සැකකාර සේවකයා අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලීසිය පවසයි.

කටුවාන පාර, හෝමාගම ලිපිනයේ පදිංචි රුවන් ප්‍රදීප් කුමාර නමැති  වයස අවුරුදු 50ක පුද්ගලයෙක් මෙලස මියගොස් ඇත. ඉකුත් 17 වැනිදා මොහු සහ රන්බඩු
ආයතනයේ හිමිකරුගේ නිවෙසේ මත්පැන් පානය කර ඇති බවත් අනතුරුව දෙදෙනාම රාත්‍රි ආහාර ගැනීමට සූදානම් වී ඇති බවත් එම අවස්ථාවේ ආයතන හිමිකරු වතුර වීදුරුවෙන් අඩක් පානය කර ඇති අතර එම වතුර අමුතු රසක් දැනෙන බවට ඔහු පවසා තිබේ. එම වතුර වීදුරුවම මිතුරා ද පානය කර ඇතැයි පොලිසිය පවසයි. අනතුරුව දෙදෙනාම අසාධ්‍ය වී හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර මිතුරා වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් දින දෙකකට පසුව මියගොස් ඇත.

මේ පිළිබඳව තවදුරටත් පොලීසිය කළ පරීක්ෂණවලදී සැකකාර සේවකයා වසර 15ක පමණ කාලයක සිට හිමිකරුගේ නිවෙසේ නැවතී ආයතනයේ සේවයට ගොස් ඇති බවත් ආයතනයේ මුදල් අස්ථානගත වීමක් හේතුවෙන් මීට දින කිහිපයකට පෙර හිමිකරු ඔහුට බැන වැදී ඇති බවත් පැවසේ. එම හේතුවෙන් හිමිකරුගෙන් පළිගැනීම සඳහා සැකකාර සේවකයා වතුර වීදුරුවට විස වර්ගයක් දමා ඇතැයි අනාවරණය වී ඇත. ආයතනය සේවකයා අත්අඩංගුවට ගෙන හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.


-එස්.ප්‍රියලාල්-